මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ එළැඹෙන අප්‍රේල් 20 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල පිලස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කර තිබේ.
වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පසුගිය මාර්තු 27 වනදා මොහුව අත්අඩංගුවට ගනු ලැබීය.
කැබ් රථයක චැසි අංක වෙනස් කර වංචනික ලෙස ලියාපදිංචි කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඔහුට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක වේ. අදාළ සැකකරු විසින් නීතිවිරෝධීව එකලස් කිරීම සඳහා කැබ් රථයක ලියාපදිංචි චැසි අංකය වෙනස් කිරීමට අදාළ ලේඛන ඉදිරිපත් කර “බර සහතික ” ලබාගැනීමත්, අනතුරුව එම ලේඛන මගින් අදාළ කැබ් රථයට E තත්ත්වයේ අංකයක් ලබා ගැනීම හා චැසි සංශෝධනයට ඉදිරිපත් කර තිබූ චැසි සංශෝධන ගොනුව සඟවා තැබීමත්, ඒ පිළිබඳව අසත්‍ය ප්‍රකාශ ලබා දෙමින් එම රථය ව්‍යාජ ලෙස එකලස් කිරීමට ආධාර අනුබල දීමත් සභාපතිවරයා එවෙත එල්ලවන චෝදනා අතර වනවා.
අද දිනයේ ඔහුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම රක්ෂිත බන්ධනාගාර නියෝගය දීර්ඝ කරන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.



