මෙක්සිකෝ ජනපතිනිය ලිංගික හිංසනයට ලක්වෙයි

මෙක්සිකෝවේ ජනාධිපතිනිය වන ක්ලෝඩියා ෂේන්බවුම් (Claudia Sheinbaum) , මෙක්සිකෝ නගරයේ ජනාධිපති මන්දිරය අසලදී ආධාරකරුවන්ට ආචාර කරමින් සිටියදී ලිංගික හිංසනයකට ලක්වීමෙන් පසු, ලිංගික හිරිහැර කිරීම රට පුරා අපරාධයක් බවට පත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

අසල්වැසියන් පිරිසකට ආචාර කරමින් සිටියදී, බීමත්ව සිටි පුද්ගලයෙකු ඇගේ උරහිස වටා අත දමා, අනෙක් අතින් ඇගේ ඉන සහ පපුව ස්පර්ශ කර, ඇගේ බෙල්ල සිප ගැනීමට උත්සාහ කර ඇති බවයි ජනපතිවරිය පවසා ඇත්තේ.

මෙම සිදුවීම කැමරාවේ සටහන් වී ඇති අතර, එය සිදුවන මොහොතේ ජනාධිපතිනියගේ ආරක්ෂක අංශය අසල සිට නොමැති බවයි වාර්තා වෙන්නේ.

තමන් එම පුද්ගලයාට එරෙහිව චෝදනා ගොනු කළ බවත්, මෙම සිදුවීමෙන් පසු ලිංගික හිංසනය සම්බන්ධයෙන් රට පුරා නීති සමාලෝචනය කරන බවයි මෙක්සිකෝවේ ප්‍රථම කාන්තා ජනාධිපතිනිය පවසා සිටියේ.

පසුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

“මෙය රටේ සහ ලෝකයේ බොහෝ කාන්තාවන් අත්විඳින දෙයකි” යනුවෙන් ජනාධිපතිනිය සිය සමාජ මාධ්‍ය සටහනක සඳහන්කර සිටියා.

ඇය පැහැදිලි කළේ, කාලය ඉතිරි කර ගැනීම සඳහා ඇය සහ ඇගේ කණ්ඩායම ජාතික මාලිගයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පයින් යාමට තීරණය කළ අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවූ බවයි.

ජනාධිපතිනිය මෙක්සිකෝව පුරා සිටින ප්‍රාන්තවලින් ඉල්ලා සිටියේ, මෙවැනි ප්‍රහාර වාර්තා කිරීම කාන්තාවන්ට පහසු කිරීම සඳහා ඔවුන්ගේ නීති සහ ක්‍රියා පටිපාටි පරීක්ෂා කර බලන ලෙසයි.

“කාන්තාවන්ගේ පෞද්ගලික අවකාශය උල්ලංඝනය නොකළ යුතුයි” යනුවෙනුයි ඇය පවසා සිටියේ.

මෙම සිදුවීම මෙක්සිකෝවේ කාන්තා ආරක්ෂාව පිළිබඳ ගැටලුකාරී වාර්තාව කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

එහිදී, ලිංගික හිංසනය සාමාන්‍ය දෙයක් වී ඇති අතර, මානව හිමිකම් කණ්ඩායම් කාන්තා ඝාතන අර්බුදයක් පිළිබඳව අනතුරු අඟවා ඇති බවයි සඳහන් වෙන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරන්නේ, මෙක්සිකෝවේ දිනකට සාමාන්‍යයෙන් කාන්තාවන් 10 දෙනෙකු ඝාතනයට ලක්වන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, වයස අවුරුදු 15 සහ ඊට වැඩි මෙක්සිකානු කාන්තාවන්ගෙන් සියයට 70ක් පමණ ඔවුන්ගේ ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් ලිංගික හිංසන සිද්ධියකට හෝ මුහුණ දෙනු ලබනවා.

මෙක්සිකෝවේ ප්‍රාන්ත 32ට සහ ෆෙඩරල් ආයතනයක් වන මෙක්සිකෝ නගරයට ඔවුන්ගේම අපරාධ නීති සංග්‍රහයන් ඇති අතර සියලුම ප්‍රාන්ත ලිංගික හිංසනය අපරාධයක් ලෙස නොසලකයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *