“රටකට උදව් කරන්න ඕන නම් තවත් රටක් මත යැපිය යුතු නැහැ”

සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ ශ්‍රී ලංකාවට උපකාර කිරීමට පාකිස්ථානයට අවශ්‍යතාවයක් තිබුණේ නම් ඉන්දියාව මත යැපීමකින් තොරව එය කළ හැකි බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසනවා.

විශේෂ ප්‍රකාශයක් කරමින් මහ කොමසාරිස්වරයා පැවසුවේ, මෙවැනි ආපදා අවස්ථාවකදී පාකිස්ථානය භූ දේශපාලනය මූලික කරගෙන කටයුතු නොකළ යුතු බවයි.

මේ අතර, පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ තමන් එක්රැස් කළ මානුෂීය ආධාර ටොන් 200ක් මුහුදු මාර්ගයෙන් මෙරටට එවීමට තීරණය කර ඇති බවයි.

එසේම ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මෙසේද සඳහන් කර තිබෙනවා,

”ශ්‍රී ලංකාව මුහුණදුන් ආපදා අවස්ථාවේදී මෙරටට ශෝකය පළ කළ පළමු පුද්ගලයා වූයේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයායි, ඔහු එහිදී වහාම ආධාර සැපයීමට ප්‍රතිඥා ලබාදුන්නා.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මේ දුෂ්කර අවස්ථාවේ දී ඊට සහාය වීමට අපට හැකි සෑම දෙයක්ම වගේම ඊටත් වඩා වැඩි දෙයක් කරන්න අපි කටයුතු කරනවා. අපගේ ප්‍රතිපත්තිය වන්නේ ”අසල්වැසියාට ප්‍රමුඛත්වය” යන්නයි. ශ්‍රී ලංකාව අපගේ අසල්වැසියෙකු වන නිසා අප එය ප්‍රමුඛත්වයක් ලෙස සලකනවා.

ඒ වගේම මම ප්‍රකාශ කළ යුතුයි, අපි මෙම ගැටලුව තවත් රටක ගැටලුවක් ලෙස සලකන්නේ නැහැ. අපි මෙය අපට ඇතිවූ ගැටලුවක් ලෙස සලකා කැපවීමෙන් අප මැදිහත්ව කටයුතු කරනවා. ඒ නිසා තමයි අපි පළමුව මීට මැදිහත්ව කටයුතු කළේ.

අනෙක් දේ මෙම කරුණ මෙය භූ දේශපාලනික කාරණයක් නෙවෙයි, මෙය මානුෂීය අර්බුදයක්. අද ශ්‍රී ලංකාවට උපකාර කරන්න අවශ්‍ය සෑම රටක් ශ්‍රී ලංකාවට උපකාර කරනවා.

ඒ නිසා ශ්‍රී ලංකාවේ අසල්වැසියෙකු සහ මිත්‍රශීලී අසල්වැසියෙකු ලෙස, ඉතාමත් සමීප එකම ශිෂ්ඨාචාරයක් ඇති සහෝදරයෙකු ලෙස එවැනි ඕනෑම දෙයක් පිළිගත යුතු අතර පහසුකම් සැලසිය යුතුයි යන්න මගේ අදහසයි.

නමුත් මෙහි ඇති ගැටලුව වන්නේ එක් රටක් මෙය නිවේදනය කර තිබියදී එය සැපයීමට හැකිවේද? නැද්ද? යන්න පිළිබඳව තවත් රටකට දොස් පැවරීමට ගන්නා උත්සාහය නිවැරදි නොවීමයි.

මම අදහස් කරන්නේ ඔබට ඇත්තටම උපකාර කිරීමට අවශ්‍ය නම් ඔබ ප්‍රචාරණය නොකර ඉන්දියාව නියමිත වේලාවට ආධාර ලබා දෙනවාද? නැද්ද? නියමිත වේලාවට නිෂ්කාශන ලබා දෙනවාද? නැද්ද? යනාදී වශයෙන් දෝෂාරෝපණයන් සිදුකර සිටිනවාට වඩා ඉදිරියට ගොස් එය සිදුකළ යුතුයි.

අපට පාකිස්තානයෙන් ඉල්ලීමක් ලැබුණේ 1.30ට පමණ අපි පස්වරු 5.15 වන විට නිෂ්කාශනය ලබා දුන්නා. අපි එය කඩිනමින් සිදුකළ දෙයක්.

විශේෂයෙන්ම අපගේ අරමුණ වන්නේ අසල්වැසි රටක්, සහෝදර රටක් මෙම මානුෂීය අර්බුදයේ දී සැබෑ දුෂ්කරතාවයකට පත්ව ඇති අවස්ථාවකදී උපකාර කිරීම් සිදුකරන විට එවැනි නිෂ්කාශන ලබාදීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ.

නමුත් මම ප්‍රකාශ කළ කාරණය නම් තවත් රටකට උදව් උපකාර කිරීමට අවශ්‍ය නම් කිසිම වෙනත් කිසිම රටක් මත යැපීමක් සිදු නොකළ යුතුයි. ඔවුන්ට උපකාර කිරීමට අවශ්‍ය නම්, ඔවුන් වහාම උදව් කළ යුතුයි.

ඔවුන්ට මෙහි පැමිණීමට ප්‍රමාණවත් කාලයක් තිබෙනවා. අපි නිෂ්කාශනය ලබා දී තිබෙනවා. ප්‍රශ්නය විය යුත්තේ, ඇයි ඒ ආධාර තවමත් මෙහි නැත්තේ? දින දෙකහමාරකට පෙර ආධාර ටොන් 100ක් ගෙනෙන බව නිවේදනය කළත් තවමත් මෙහි ටොන් එකක්වත් නැහැ.”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *