වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ තමන්ට හිමි වූ නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ප්රදානය කර තිබෙනවා.
ඒ ඊයේ අමෙරිකාවට පැමිණ ට්‍රම්ප් ජනාධිපතිවරයා හමුවීමෙන් පසුවයි.
පසුගිය 2025 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ මචාඩෝ සහ ජනාධිපති ට්‍රම්ප් මුහුණට මුහුණ හමු වූ පළමු අවස්ථාව මෙයයි.
මීට පෙර වෙනිසියුලානු විපක්ෂ නායිකාව නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපතිවරයාට ලබා දෙන බවට ප්‍රකාශ කළ ද නොබෙල් කම්ටුව ප්‍රකාශ කළේ වෙනත් පුද්ගලයෙකුට ලබාදුන් සාම ත්‍යාගය තවත් අයෙකුට පරිත්‍යාග කළ නොහැකි බවයි.
වෙනිසියුලාවේ ජනාධිපති නිකොලොස් මධුරෝ අමෙරිකාවේ අත්අඩංගුවේ සිටින පසුබිමක එරට විපක්ෂ නායිකාව අමෙරිකාවට පැමිණ මෙලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා හමුවීම විශේෂත්වයක්.
ධවල මන්දිරයෙන් පිටත රැස්ව සිටි ආධාරකරුවන් අමතමින් මචාඩෝ පැවසුවේ, “අද දවස වෙනිසියුලානුවන් වන අපට ඓතිහාසික දිනයක්. අපගේ නිදහස වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් දැක්වූ සුවිශේෂී කැපවීම අගය කිරීමක් ලෙස මම මෙම පදක්කම ඔහුට පිරිනැමුවා” යනුවෙන්.
මෙහිදී ඇය 1825 වසරේදී ජෙනරාල් ලැෆයෙන්ට් (Lafayette) විසින් ජෝර්ජ් වොෂින්ටන්ගේ රුව සහිත පදක්කමක් සයිමන් බොලිවර් (Simon Bolivar) වෙත පිරිනැමීමේ ඓතිහාසික සිදුවීම සිහිපත් කර තිබෙනවා.
වසර 200කට පසු වෙනිසියුලානු ජනතාව විසින් එම ගෞරවය “වොෂින්ටන්ගේ උරුමක්කාරයා” වන ට්‍රම්ප් වෙත නැවත ලබා දෙන බවයි ඇය එහිදී ප්‍රකාශ කර ඇත්තේ.
ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් මචාඩෝගේ මෙම පියවර “අන්‍යෝන්‍ය ගෞරවයේ අපූරු සංකේතයක්” ලෙස හඳුන්වමින් සිය කෘතඥතාව පළ කර තිබෙනවා.
මචාඩෝ “බොහෝ දුක් ගැහැට වලට මුහුණ දුන් අසිරිමත් කාන්තාවක්” බව පැවසූ ඔහු, ඇය හමුවීම තමාට විශාල ගෞරවයක් බවයි සඳහන් කර ඇත්තේ.



