අගමැති ධුරයේ වෙනසක් ?

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරය සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදු කිරීමට සැලසුමක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

අගමැතිවරිය සහ අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස කටයුතු කරන ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එම ධුරවලින් ඉවත් කිරීමට හෝ ඇය ස්වයංව අස්වීමට සූදානමක් පවතින බවට පැතිරෙන කතා සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බවසඳහන් කර තිබුණි.

අගමැති ධුරයේ හෝ අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වෙනසක් සිදු කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවත්, එම ධුරවල කටයුතු කිරීමේදී අගමැතිවරිය විසින් කිසිදු වරදක් සිදු කර නොමැති බවත් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ඇති කරුණු පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කෙරෙන බවත්, එම පරීක්ෂණයෙන් අනතුරුව වරදක් සිදුව තිබේද යන්න සහ එය සිදුව ඇත්තේ කොහේද යන්න පැහැදිලි වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

අගමැතිනිය ඉවත් කරනු ඇතැයි කියමින් විපක්ෂය පැතිරවූ කතා දවල් හීනවලට සමාන බවත්, ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඉලක්ක කර ගනිමින් සිදු කරන මෙම ප්‍රහාරයන්ට හේතුව ඇය විපක්ෂයට දැඩි අභියෝගයක් වී තිබීම බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා අවසානයේ සඳහන් කළේය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *