අපයෝජනයට ලක්වූ බව කියන තරුණියකගේ විඩියෝවක් ගැන ඩඩ්ලිගෙන් ප්‍රකාශයක්

පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්වූ පොළොන්නරුව ප්‍රදේශයේ තරුණියකගේ වීඩියෝව සම්බන්ධයෙන් අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එම වීඩියෝව හරහා අදාළ තරුණිය තමන්ට සිදුවූ බව කියන කායික හා මානසික පීඩාවන් පිළිබඳව හෙළිදරව් කර ඇති අතර, එහිදී ඇය ඩඩ්ලි සිරිසේන මහතාගේ නමද කිහිපවරක් සඳහන් කර තිබුණා.

මෙම සිදුවීම පිළිබඳව කරුණු සොයා බැලූ බව පවසන ඩඩ්ලි සිරිසේන මහතා, අදාළ දියණිය සිය සමීප හිතවතෙකුගේ දියණියක් බව තහවුරු කර තිබෙනවා.

ඇය කලක පටන් අධ්‍යාපන කටයුතු සම්බන්ධ අපේක්ෂාභංගත්වයකින් සහ දැඩි මානසික පීඩනයකින් පසුවන බවත්, මේ වන විටත් ඇය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගතව සිටින බවත් ඔහු පෙන්වා දෙනවා.

එම තරුණිය වීඩියෝව තුළ ඩඩ්ලි සිරිසේන මහතාගේ නම සඳහන් කර ඇත්තේ ඇය විසින් නිම කරන ලද ව්‍යාපෘති යෝජනාවක් ඔහු වෙත භාර දීමට ඇති අපේක්ෂාව නිසා බවත්, ඇගේ පියා කලක පටන් අරලිය හෝටල් ජාලයේ ව්‍යාපෘති සිදු කරන සමීප හිතවතෙකු වීම නිසා ඇය තුළ වූ විශ්වාසය මත එම නම සඳහන් කර ඇති බවත් සිරිසේන මහතා පැහැදිලි කර තිබෙනවා.

අදාළ තරුණියගේ පෞද්ගලික ජීවිතයේ පීඩාවන් සහ ව්‍යාපෘති වාර්තාව භාරදීමේ කතාව වැරදි ලෙස සහසම්බන්ධ කරමින් අසත්‍ය පුවත් ප්‍රචාරය කළ මාධ්‍ය ආයතන කිහිපයක ක්‍රියාකලාපය ඔහු දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබෙනවා.

මෙම සංවේදී සිදුවීම පටු වාසි හෝ ‘Reach’ ලබාගැනීම සඳහා භාවිත නොකරන ලෙසත්, ඇය තමන්ගේම දියණියක ලෙස සලකා කටයුතු කරන ලෙසත් ඔහු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඇයව ඉක්මනින් සුව කරගැනීම සඳහා ඇගේ පියා සහ වෛද්‍යවරුන් හා එක්ව තමා සහ තම බිරිඳ අවශ්‍ය සියලු යුතුකම් ඉටු කරන බවද ඔහු සඳහන් කරනවා.

විනාශකාරී ලෙස තොරතුරු සමාජගත නොකර, වින්දිතයන්ගේ ගෞරවය සහ පෞද්ගලිකත්වය ආරක්ෂා වන අයුරින් කටයුතු කරන ලෙස පියෙකු ලෙස තමා සමාජයෙන් ඉල්ලා සිටින බව ඩඩ්ලි සිරිසේන මහතා සිය සටහන මගින් අවධාරණය කර තිබෙනවා.

සිය සහෝදරයා සහ පෙම්වතා තමාව අපයෝජනය කළා යැයි බව පවසමින් තරුණියක් විසින් නිකුත් කළ විඩීයෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් ප්‍රචාරය වනවා.

එහිදී එම තරුණිය ඉල්ලා සිටින්නෙ ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා දකින තෙක් එම විඩීයෝව හැකිතාක් ප්‍රචාරය කරන ලෙසට ජනහාවගෙන් ඉල්ලා සිටින බවයි.

එයට පිළිතුරක් වශයෙන් ඩඩ්ලි සිරිසේන මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණේ ඉහත ආකාරයටයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *