“අර්බුදයක් කිසිවිටෙක අපතේ නොහරින්න”

‘දිට්වා’ සුළි කුණාටුවෙන් රටට අත්වූ ඛේදවාචකය, දිගුකාලීන ප්‍රතිසංස්කරණ හා යළි ගොඩනැගීමේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්කරන ලෙසට හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ජනාධිපති නීතිඥ අලි සබ්රි ඉල්ලා සිටිනවා.

“අර්බුදයක් කිසිවිටෙක අපතේ නොහරින්න” (Never Waste a Crisis) යන සිරස්තලයෙන් යුත් දීර්ඝ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, දේශපාලන නායකයින් සහ පුරවැසියන් එක්ව රට “පෙරට වඩා ශක්තිමත්ව, බුද්ධිමත්ව සහ ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතුව” යළි ගොඩනැගිය යුතු බවයි.

ඔහු සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ, මෙම සුළි කුණාටුවෙන් මරණ සහ අතුරුදහන් වූවන් සංඛ්‍යාව 1,000කට ආසන්න බවට නිල සංඛ්‍යා ලේඛන මගින් තහවුරු කර ඇති බවයි.

එමෙන්ම දුම්රිය මාර්ග ජාලයෙන් සියයට 70කට අධික ප්‍රමාණයකට බලපෑම් එල්ල වී ඇති අතර, නිවාස 1,000කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තවත් දස දහස් ගණනකට අර්ධ වශයෙන් හානි සිදුව තිබෙනවා.

තවද, මාර්ග කිලෝමීටර් සිය ගණනකට සහ ව්‍යාපාරික ස්ථාන රැසකට සිදු වූ හානි හේතුවෙන් රට පුරා ජන ජීවිත බිඳවැටී ඇති බවටයි හෙතෙම පෙන්වා දෙන්නේ.

රට මුහුණ දෙන ප්‍රශ්නය අහිමි වූ දේ නොව, ඊට ප්‍රතිචාර දක්වන ආකාරය බව අවධාරණය කරන සඔහු, “අප මේ අර්බුදය අපතේ නොහැරිය යුතුයි” බවටයි පවසා ඇත්තේ.

මේ මොහොත නවීකරණය සඳහා යොදා ගත යුතු බවට රජයෙන් ඉල්ලා සිටින හිටපු අමාත්‍යවරයා, ඒ හරහා කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමටත්, දේශගුණික වශයෙන් බුද්ධිමත් යටිතල පහසුකම් ගොඩනැගීමටත්, ප්‍රතිසංස්කරණ තුළින් රැකියා උත්පාදනය කිරීමටත්, ඩිජිටල් නවෝත්පාදනය සඳහා ආයෝජනය කිරීමටත් හැකි බව සඳහන් කරනවා.

ඒ සඳහා ආපදාවලට ඔරොත්තු දෙන යළි ගොඩනැගීමේ උපාය මාර්ගයක් ලෙස ඔහු යෝජනා කර ඇත්තේ,

දියුණු වාරි පද්ධති, වැඩි අස්වැන්නක් දෙන දේශගුණයට ඔරොත්තු දෙන බීජ, ශක්තිමත් නිවාස සහ පාලම්, නව ජලාපවහන පද්ධති, කලාපීය ප්‍රතිසංස්කරණ (Zoning Reforms), GIS සිතියම්කරණය සහ තථ්‍ය කාලීන ආපදා ආදර්ශනය (real-time disaster modelling) වැනි කරුණුයි.

ප්‍රතිසංස්කරණ කටයුතු නිදහසෙන් පසු මෙරට ඇති වූ විශාලතම රැකියා උත්පාදන වැඩසටහන බවට පත් කළ හැකි බවද හෙතෙම සඳහන් කරනවා.

තවදුරටත්, 2011 සුනාමියෙන් පසු ජපානය ශක්තිමත් වූ ආකාරය, හයියන් සුළි කුණාටුවෙන් පසු පිලිපීනය ගොවිතැන නවීකරණය කළ ආකාරය, යුද්ධයෙන් පසු ජර්මනිය නැගී සිටි ආකාරය සහ ගැටුම්වලින් පසු රුවන්ඩාව ස්ථාවරත්වය කරා පැමිණි ආකාරය ඇතුළු ඛේදවාචකයන් පරිවර්තනය බවට පත් කළ රටවල් පිළිබඳව ද ඔහු සඳහන් කර තිබෙනවා.

“මහා ජාතීන් අර්ථ දැක්වෙන්නේ ඔවුන්ව බිඳ දමන දේ අනුව නොව, ඔවුන් බිඳී ගිය පසු ගොඩනඟන දේ අනුවයි,” යැයි ඔහු පවසමින්, වින්දිතයන්ට ගෞරව කළ යුත්තේ “ශෝකයෙන් පමණක් නොව, අරමුණකින් යුතුව” බවද වැඩිදුරටත් අවධාරණය කරනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *