රජයේ විගණකාධිපති ධුරය පත් කිරීම සම්බන්ධයෙන් මාලිමා රජය දැවැන්ත ව්යවස්ථාපිත සහ දේශපාලන අර්බුදයකට මැදිව තිබේ.
මාලිමා රජය යටතේ පත්කළ සිවිල් සාමාජිකයින් තිදෙනා ද ඇතුළත් ව්යවස්ථාදායක සභාව අද (30) පස්වරු 2.00 ට රැස්වීමට නියමිතව ඇත්තේ මෙම උණුසුම් වාතාවරණය මධ්යයේය.
අද නිකුත් වූ ‘අනිද්දා’ පුවත්පතේ ප්රධාන පුවතින් අනාවරණය කළේ, විවෘත විශ්වවිද්යාලයේ මුදල් අධිකාරි (Bursar) වන ඩබ්ලිව්. එම්. කේ. ජී. ඒ. වික්රමසිංහ ව විගණකාධිපති ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා උත්සාහ කළ බවයි.
ඔහු ජනාධිපතිවරයාගේ කැළණිය විශ්වවිද්යාලයේ සමකාලීන මිතුරෙකු බව පැවසේ.
කෙසේ වෙතත්, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 154(8)(අ) සහ 154(9) ව්යවස්ථාවන්ට අනුව විගණකාධිපතිවරයෙකුට තිබිය යුතු ‘ශ්රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ’ වෘත්තීය සාමාජිකත්වය හෝ වෘත්තියේ යෙදීමේ සහතිකය (Practicing Certificate) ඔහුට නොමැති බව හෙළි වී තිබේ.
ලංකාවේ නීතියට අනුව විගණනය කළ හැකි වෙනත් කිසිදු ව්යවස්ථාපිත ආයතනයක් නොමැති පසුබිමක, මෙම ‘මිතුරු සංග්රහය’ ව්යවස්ථාව හමුවේ දැඩි ලෙස අභියෝගයට ලක් විය. ඒ අනුව එම උත්සාහය මේ වන විට ව්යර්ථ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
වික්රමසිංහ මහතාගේ නම හැලීමත් සමඟ, මීට පෙර ව්යවස්ථාදායක සභාව විසින් ප්රතික්ෂේප කරන ලද ජ්යෙෂ්ඨ නියෝජ්ය විගණකාධිපති එල්.එස්.අයි. ජයරත්න මහත්මියගේ නම ජනාධිපතිවරයා විසින් අද නැවත යෝජනා කිරීමට සූදානම් වන බවද වාර්තා වේ.
නමුත් 2024 දෙසැම්බර් මස සිදුකළ ඉන්දීය සංචාරයක ගුවන් ටිකට්පත් සඳහා පෞද්ගලික මුදල් නොවන බාහිර පාර්ශ්වයකින් අනුග්රහයක් ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇයට එරෙහිව පරීක්ෂණයක් අරඹා ඇත (ලිපි අංක: AC/0205/2025 බී-228).
2014 සැප්තැම්බර් මස විගණන අධිකාරීවරියක ලෙස කටයුතු කරද්දී, රාජකාරි වේලාව තුළ බාහිර කටයුතුවල යෙදීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව ඇයට ලිඛිතව දැඩි අවවාද කර ඇත (ලිපි අංක: S1/22/එම/06/2014).
කෙසේ වෙතත් මේ වන විට මෙම මල්වතු, අස්ගිරි සහ අමරපුර යන මහ නිකායන්හි මහනායක හිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් විශේෂ ඉල්ලීමක් කර ඇත.
එහි දැක්වෙන්නේ පිටස්තර පුද්ගලයන් හෝ චෝදනා ලැබූවන් පත් නොකර, විගණන කාර්යාලයේ ජ්යෙෂ්ඨතම සහ සුදුසුම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල මහතාව විගණකාධිපති ලෙස පත් කරන ලෙසයි.
2025 අප්රේල් මස සිට මාස 8කට ආසන්න කාලයක් ස්ථාවර විගණකාධිපතිවරයෙකු නොමැති වීම නිසා රාජ්ය මූල්ය පාලනය අඩාල වී ඇති බවත්, මීට පෙර යෝජනා කළ කිහිපදෙනෙකුගේම නාමයන් සුදුසුකම් හා ශක්යතාව පිළිබඳ ගැටලු මත ප්රතික්ෂේප වූ බවත් උන්වහන්සේලා පෙන්වා දෙති.
මේ පසුබිමේ අද පස්වරුවේ පැවැත්වෙන ව්යවස්ථාදායක සභා රැස්වීමේදී ජනාධිපතිවරයා ගන්නා තීරණය, මාලිමා රජයේ ‘යහපාලන’ ප්රතිපත්තිය සහ රටේ මූල්ය ස්වාධීනත්වය පිළිබඳ ඇති කැපවීම මැන බලන තීරණාත්මක සාධකයක් වනු ඇත.



