“ආණ්ඩුව තමන්ගේම කකුලෙන් ඇද ගන්න ගමන් ඒක කරන්නෙ විපක්ෂය කියල කියනවා”

ආණ්ඩුව තමන්ගේ කකුලෙන් ඇද ගන්නා ගමන් විපක්ෂය කකුලෙන් අදින බවට බොරු චෝදනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.
රටට නොගැලපෙන සංස්කෘතීන් ගෙන ඒම ඔස්සේ හෙළ සංස්කෘතිය විනාශ කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව ද ඔහු පැවසුවා.

නව වසර උදාවීම නිමිත්තෙන් ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙසේද පැවසුවා.

“දිට්වා සුළ කුණාටුව නිසා ඇතිවූ ආපදා තත්ත්වය ප්‍රයෝජනයට ගෙන දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීම සඳහා රජය අපහසුතාවට පත් කිරිමට කිසිම වුවමනාවක් අපිට නැහැ.

වරායේ කන්ටේනර් 323 ක් පැන්නුවේ අපි නෙවෙයි. ඒක හංගන්න උත්සාහ කරන්නෙත් අපි නෙවෙයි. කුඩු තියෙනවා කියලා ජත්‍යන්තර බුද්ධි අංශ දැනුම් දීලා තියෙද්දී වාරයෙන් කන්ටේනර් දෙකක් පැන්නුවේත් අපි නෙවෙයි. ඒක පන්නලා විපක්ෂයට ඇඟිල්ල දික් කරන්න උතසාහ කරන එක වැරදියි.

බීලා ගහින් අහු වුණාම ඒක අල්ලපු පොලිස් නිලධාරියා මාරු කරන්නේ අපි නෙවෙයි. ගංජා හේන් වවලා අහුවෙන්නේ අපේ පක්ෂවල මන්ත්‍රීවරු නෙවෙයි. බාල බෙහෙත් ගෙනල්ලා පහුගිය ආණ්ඩුවේ ඇමැතිවරයාට චෝදනා කළ වර්තමාන ඇමැතිවරයා දැන් මේ ආණ්ඩුව යටතේ ඒක වුණාම ඒක නිලධාරීන් පිට පටවනවා.
 
අපේ සංස්කෘතියට නොගැලපෙන දේවල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ රටට ගේන්න හදනවා. මේවා කරමින් විපක්ෂය අපේ කකුලෙන් අදිනවා කියලා ආණ්ඩුව අපිට චෝදනා කරනවා. ඇත්තටම සිදු වෙන්නේ අපි ආණ්ඩුවේ කකුලෙන් අදිනවා නෙවෙයි ආණ්ඩුවම තමන්ගේ කකුලෙන් ඇද ගන්න එකයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මුවාවී පාසල් දරුවන් අතර සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධව පැහැදිලිවම පරීක්ෂණයක් කරන්න ඕන. මේක කොහොමද වුණේ කියන එක රටේ ජනතාව දැනගත යුතුයි. මේ ගැන දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල දාලා තියෙන්නේ අමාත්‍යාංශ ලේකම්. මේවා තමයි විහිළු. ආණ්ඩුව දැන් හැසිරෙන්නේ මේ පොත අපි මුද්‍රණය කළා වගේ. තව ටික දවසක් ගිහින් රාජපක්ෂලා මේක පිටිපස්සේ ඉන්නවා කියන්නත් බැරි නැහැ.

හැම දේටම පොලීසියට ගියාම හරි කියලා ආණ්ඩුව හිතනවා. මේවායින් අවසානයේ සිදු වෙන්නේ පොලීසියේ ගෞරවය නැතිවෙන එකයි. අද මේ ආණ්ඩුව පොලීසියේ ගෞවරය සම්පූර්ණයෙන්ම නැති කරලා. ඊළඟ ආණ්ඩුවට තියෙන ලොකුම අභියෝගය තමයි පොලිස්පති ධුරයේ සහ පොලීසියේ ගෞරවය නැවත ස්ථාපිත කරන එක. පොත මුද්‍රණය කළේ අධ්‍යාපන අමාත්‍යාංශය මිසක් පොලීසිය හෝ විපක්ෂය නෙවෙයි. එහෙනම් ලේකම් ගිහින් පැමිණිලි දාලා වැඩක් තියෙනවාද?.

අභ්‍යන්තර ප්‍රශ්න අතුළේ විසඳගන්න ඕන. මේ රටට නොගැලපෙන සංස්කෘතීන් ගේන එකෙන් ආණ්ඩුව ඈත් වෙන්න ඕන. හෙළ සංස්කෘතිය විනාශ කරලා රටට නොගැලෙපෙන ඒ අයට ගැලපෛන සංස්කෘතියක් මේ රටේ ස්ථාපිත කිරීමෙන් රටට හා ජනතාවට වෙන සෙතක් නැහැ.

ගංවතුරින්, සුළ සුළඟින් හා නාය යෑම් වලින් විපතට පත් ජනතාව වෙනුවෙන් ආණ්ඩුව දෙනවා කිව්ව පැකේජ් එක සම්බන්ධව අපි සතුටුයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඩිලිවරි එක ගැනයි. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කිව්වා නිවසකට ලක්ෂ 50 ක් දෙනවා කියලා. නිවසයි ඉඩමයි දෙකටම ලක්ෂ 100 ක් දෙනවා කිව්වා. ටකරමකට ලක්ෂ 10 ක් දෙනවා කිව්වා. ඒ වෙලාවේ ජනතාවගෙන් එන පීඩනය අවම කරගන්න කිසිම පදනමක් නැතුව අනවශ්‍යය ප්‍රකාශ කරමින් ජනතාවට අසීමිත බලාපොරොත්තු දුන්නා. දැන් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර ගන්න බැරුව ආණ්ඩුව විපක්ෂයට ඇඟිල්ල දික් කරනවා.

එක පැත්තකින් ජනතාව කුණාටුවකට අහුවුණා. නාය යෑම් වලට ලක්වුණා. ගංවතුර අහුවුණා. අනිත් පැත්තෙන් ආණ්ඩුවේ බොරු බලාපොරොත්තු වලින් ජනතාව මානසිකව කඩා වැටුණා. කටට එන හැමදේම කියන්නේ නැතුව ළඟ ඉන්න අය කියන දේවල් හරියට අහගෙන ඉදලා කරන්න පුළුවන් දේ විතරක් කියන්න කියලා ජනාධිපතිවරයාට මතක් කරනවා. තවත් මාස ගානක්, අවුරුදු ගානක් ජනතාවට අවතැන් කඳවුරුවල ජීවත් වෙන්න බැහැ. මැතිවරණ සමයේදී මෙන් ජනතාවට බොරු පොරොන්දු නොදී අඩු තරමින් ස්වභාවික ආපදාව අවස්ථාවේ ජනතාවට වෙච්ච පොරොන්දු ටික හරි ඉටු කරන්න කියලා අපි ජනාධිපතිවරයාට කියනවා.”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *