2025 ආසියානු කුසලාන තරගාවලියේදී ජයග්‍රාහී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රියාකලාපයෙන් ඔවුන් සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවටම අගෞරව කළ බව පාකිස්තාන කණ්ඩායමේ නායක සල්මාන් අඝා චෝදනා කරනවා.
අවසන් තරගයෙන් පසු මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු කියාසිටියේ ප්‍රතිවාදී කණ්ඩායම සමඟ අතට අත නොදීමේ ඉන්දීය ක්‍රීඩකයන්ගේ ක්‍රියාකලාපය වෙනත් කණ්ඩායම් අනුගමනය නොකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්, එය 2025 ආසියානු කුසලානයෙන්ම අවසන් විය යුතු බවයි.
“අද ඔවුන් කළ දේ, මම හිතන්නේ හොඳ කණ්ඩායමක් කිසිසේත් මෙය කරන්නේ නැහැ. හොඳ කණ්ඩායමක් කරන්නේ අප කළ දෙයයි. අපි තනිවම ගිහින් කුසලානය සමඟ පෙනීසිටියා. පරාජයෙන් පසුව පවා අපි එහි සිටගෙන අපගේ පදක්කම් ලබා ගත්තා. මට ඉතා රළු වචන මෙතන කියන්න ඕන නෑ. නමුත් අවංකවම කිව්වොත්, මේක ක්‍රීඩාවට ඉතා අගෞරවයක් මිස වෙනත් කිසිවෙකුට කළ දෙයක් නෙවෙයි.”
තම වෘත්තීය ජීවිතය තුළ ප්‍රතිවාදී කණ්ඩායම සමඟ අතට අත දීම ප්‍රතික්ෂේප කරන කිසිවකු දැක නොමැති බවත් ඔහු කියාසිටියා.
විශේෂයෙන්ම තරගාවලියට පෙර පැවති නායකයින්ගේ හමුව අතරතුරදී සහ විනිසුරු හමුව අතරතුරදී ඉන්දීය නායකයා තමා සමඟ අතට අත දුන් නමුත්, ප්‍රසිද්ධියේ එසේ කිරීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ මාධ්‍ය වෙත පැවසූ සල්මාන් ඉන්දීය නායකයාගේ දෙබිඩි පිළිවෙත සම්බන්ධයෙන් ඇගවීමක් කළ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
ඉන්දියාවට කුසලානය නොලැබීම පිළිබඳව සහ තරගාවලිය අතරතුර පාකිස්තානය තරගයට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවෙන් ඉවත් වීම පිළිබඳ විමසූ විට, සල්මාන් පවසා ඇත්තේ සැප්තැම්බර් 14 වැනි දින පාකිස්තානයට එරෙහිව පැවති ඔවුන්ගේ පළමු තරගයෙන් පසුව ඉන්දියාව ආරම්භ කළ දෙයක ප්‍රතිවිපාකයක් ලෙස මේ සියල්ල සිදු වූ බවයි.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස මොහ්සින් නක්විගෙන් ඉන්දීය කණ්ඩායම කුසලානය ගැනීමට අකමැති නම්, ඔවුන්ට එය කිසිසේත් නොලැබිය යුතු බව ද සල්මාන් අවධාරණය කරනවා.
අද අවසන් වූ 17 වැනි ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාව පාකිස්තානය සමඟ තුන් වතාවක් ක්‍රීඩා කළ අතර, ඒ සෑම අවස්ථාවකදීම, ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළ නමුත්, පාකිස්තාන ක්‍රීඩකයන් සමඟ අතට අත දීම ප්‍රතික්ෂේප කළා.
ශූරතාව දිනාගත් ඉන්දීය කණ්ඩායමට අගමැති නරේන්ද්‍ර මෝදි සුබපතමින් කියාසිටියේ ක්‍රීඩාවේ සින්දූර් මෙහෙයුම ජයගත් බවයි.
ක්‍රීඩා විශ්ලේෂකයන් මතපළකරන්නේ බොහෝ විට ඉන්දියාව සහ පාකිස්තානය ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඉදිරියේදී මුහුණට මුහුණ හමුවන ඕනෑම අවස්ථාවකදීත් මෙය යළිත් සිදුවීමේ ඉඩක් පවතින බවයි.



