ඉන්දුනීසියාවේ සිට ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව අපරාධකරුවන් මෙරටට ගෙන ඒමට තරම් හැකියාවක් තිබූ වත්මන් රජයට, තම දේශපාලන පක්ෂයේම වැලිගම ප්‍රදේශය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පැහැරගෙන ගිය පිරිසට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව හිටපු පාර්ලිමන්ත මන්ත්‍රීවරයෙකු වන සම්පත් අතුකෝරළ පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙම චෝදනාව එල්ල කළේය.
වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ඝාතනය සිහිපත් කරමින් ඒ මහතා කියා සිටියේ, නීති ආධිපත්‍යය ආරක්ෂා කරන බව පවසන ආණ්ඩුවක් බලයේ සිටියදී, “ඉතිහාසයේ පළවෙනි වතාවට මහජන නියෝජිතයෙක් තමන්ගේ මහජන හමුව සිදුකරන අවස්ථාවේ වෙඩිතබා ඝාතනය කර ඇති බවයි.
“මේ රටේ නීති ආධිපත්‍ය ආරක්ෂා කරන්න පැමිණි ආණ්ඩුවක් යැයි කියාගත් මේ ආණ්ඩුව බලයේ සිටින මොහොතක මහජන ඡන්දයෙන් පත්වුණ මහජන නියෝජිතයකුට තමන්ගේ ජනතාව හමුවෙන්නට ආරක්ෂාව නොමැතිනම් මේ ආණ්ඩුව කෙතරම් පාරම්බෑවත් ජනතාවගේ ආරක්ෂාව රැකලා තිබෙනවා කියලා, එය සිදුවී නැහැ,” යැයිද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා, ආණ්ඩුව විසින් මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වූ බවත්, ඉන්පසු එහි මංගල සභාවාරය පැවැත්වූ දිනයේදී “ඔවුන්ගේ මන්ත්‍රිවරියක් සහ මන්ත්‍රීවරයෙක් මේ මියගිය සභාපතිවරයා පැහැරගත්තා යනුවෙන් චෝදනාවක් සිදුකළා. ඒ චෝදනාවට අදටත් වුණු දෙයක් නැහැ” යනුවෙන් පෙන්වා දුන්නේය.
තම දේශපාලන බලවේගයේම මන්ත්‍රීවරුන් පැහැරගත් පිරිසට එරෙහිව නීතිමය පියවර ගැනීමට ආණ්ඩුවට ඇති නොහැකියාව බරපතල ගැටලුවක් බවද ඒ මහතා සඳහන් කළේය.



