ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන විය යුතුයි – අගමැති හරිනි

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය සහ ඉන්දියාවේ සාර්ථක වෙළෙඳ ආර්ථිකය මුසු වීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිවන පරිදි දෙරටේ නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන විය යුතු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

NDTV – Global Summit සැසිවාරය ඊයේ(17) අමතමින් ඇය පෙන්වා දුන්නේ ජනප්‍රියත්වය මූලික කරගත් නායකත්වයක් නොව අභිවෘද්ධිය අරමුණු කරගත් නායකත්වයකින් රට ඉදිරියට යන බවය.

තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙන්ම එහි සීමාවන් සහ අවදානම අවබෝධ කරගත යුතු බව ද අගමැතිනිය මෙහිදී සඳහන් කළාය.

ශ්‍රී ලංකාව විනිවිද භාවය තුළින් සමාජ ප්‍රගතිය අත්පත් කරගනිමින් සිටින බව සඳහන් කළ ඇය ඒ සඳහා ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක මෙන්ම යහපත් රාජ්‍ය පාලනයක අවශ්‍යතාව පිළිබඳව ද අවධාරණය කළාය.

මානව විද්‍යාඥවරියකගේ සහ දේශපාලන චරිතයක වෙනස ඔබ දකින්නේ කෙසේදැයි යොමු වූ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ ලෝකය එම කෝණ දෙකින් බැලීමේදී වෙනස් ලෙස නිරීක්ෂණය කළ හැකි බවය.

විශ්ව විද්‍යාල සිසුවියක ලෙස මෙම අවස්ථාව අර්ථකථනය කරන්නේ කෙසේ දැයි ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ අභියෝග සහ අවදානම් භාර ගැනීම තුළින් අපේක්ෂා ජය ගත හැකි බවය.

NDTV -Globle Summit අද ඉන්දියාවේදී පැවැත්වුණේ හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, හිටපු ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ටෝනි ඇබොට් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *