විටින් විට වැසි ඇද වැටුණත් දැඩි උණුසුම හේතුවෙන් ඇති විය හැකි තාප ආඝාත තත්ත්වය (හීට් ස්ට්‍රෝක්) අවදානම මැයි මාසයේ මැදක් පමණ වන තුරු පවතින බව හදිසි ප්‍රතිකාර හා අනතුරු පිළිබඳ විශේෂඥවරුන්ගේ විද්‍යායතනයේ සභාපති, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඉනුක විජේබණ්ඩාර පැවසීය.
මෙය මාරාන්තික තත්ත්වයක් යැයි ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු නොදන්නා බව කී විශේෂඥ වෛද්‍යවරයා අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් සිරුරේ වෙනස් වීම් පියවර තුනකින් සිදුවන බව සඳහන් කළේ ය.
උෂ්ණත්වය හේතුවෙන් මස් පිඬු පෙරැළීමේ තත්ත්වයක් (හිට් ක්‍රෑම්ප්) ඇති වීම මුල් පියවර වන බව පැවැසූ විශේෂඥ වෛද්‍යවරයා එහිදී බඩ කොරවීම, කලවා පෙදෙස කොර වීම වැනි ලකුණු හටගන්නා බවත් මෙවිට සිසිල් තැනකට ගොස් ජලය පානය කර විවේකීව සිටීමෙන් තත්ත්වය දුරදිග යෑමෙන් වළක්වා ගත හැකි බවත් කීවේය.
දෙවැනි පියවර වන තාප විඩාවය (හීට් එක්සෝෂන්) අවස්ථාවේදී දහදිය උපරිමව දමා ඔක්කාරය, වමනය තත්ත්වයක් ඇතිවී සුදුමැලිවී මානසික ව්‍යකූලත්වයක්ද හට ගන්නා බව කී වෛද්‍යවරයා මෙවිටද පෙර දැක්වූ පරිදි ක්‍රියා කිරීමෙන් යථා තත්ත්වයට පත්වීමට හැකි බව සඳහන් කළේය.
එය ද ගණනකට නොගැනීමෙන් තෙවැනි පියවර වන තාප ආඝාත තත්ත්වයක් ( හීට් ස්ට්‍රෝක්) ඇති විය හැකි බවත් එහිදී වහාම නිසි ප්‍රතිකාර නොලැබුණොත් රෝගියා නිද්‍රාශීලීවී, වලිප්පුව වැනි ලකුණු ඇති වී ශරීරයේ සියලු අවයව අකර්මණ්‍ය වී මාරාන්තික තත්ත්වයක් උද්ගත විය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.



