ශ්රී ලංකාවේ සංචාරයක නිරත එංගලන්ත ක්රිකට් ක්රීඩකයින් සඳහා මධ්යම රාත්රී 12න් පසු ක්රියාත්මක වන පරිදි විශේෂ ඇඳිරි නීතියක් (Curfew) පැනවීමට එංගලන්ත ක්රිකට් කළමනාකාරීත්වය පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.
පසුගිය ‘අළු බඳුන’ (Ashes) තරගාවලියේදී සහ නවසීලන්ත සංචාරයේදී ක්රීඩකයින්ගේ විනය සම්බන්ධයෙන් මතු වූ ගැටලුකාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්යය වාර්තා කරන්නේ.
ඒ අනුව, ක්රීඩකයින් සෑම දිනකම මධ්යම රාත්රී 12 වන විට නැවත සිය හෝටලය වෙත පැමිණිය යුතු බවත්, කණ්ඩායම් කළමනාකාරීත්වයේ පූර්ව අනුමැතියකින් තොරව කිසිදු ක්රීඩකයෙකුට ඉන් බැහැරව සිටීමට අවසර නොලැබෙන බවටත් කොන්දේසි ඇතුලත් බවයි එම වාර්තාවේ සඳහන්.
එමෙන්ම, මේ සම්බන්ධයෙන් නිල විනය පද්ධතියක් නිකුත් කර නොමැති වුවද, ජාත්යන්තර ක්රිකට් ක්රීඩකයින් ලෙස තමන් සතු වගකීම පිළිබඳව කොළඹට පැමිණි විගස ක්රීඩකයින් දැනුවත් කිරීමට නියමිත බවත් සඳහන්.
හැරී බෘක්ගේ (Harry Brook) නායකත්වයෙන් යුත් එංගලන්ත සංචිතය අද දිනයේ දිවයිනට පැමිණි අතර, ඔවුන් මෙහිදී සීමිත පන්දුවාර තරගාවලි දෙකකට (එක්දින සහ විස්සයි20) සහභාගී වීමට නියමිතයි.



