ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුවේ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාව ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කළා.
අද(30) නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා නියෝග කළේ සැකකරු රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 30 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනෙකුගේ ඇප මත මුදාහරින ලෙසයි.
මීට අමතරව නාමල් රාජපක්ෂ මහතාට වහාම ක්රියාත්මක වන පරිදි විදේශ ගමන් තහනමක් පැනවූ මහේස්ත්රාත්වරයා, එම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත කඩිනමින් දැනුම් දෙන ලෙසට නියෝග කළා.
එමෙන්ම නඩුවේ කිසිදු සාක්ෂිකරුවෙකුට කිසිඳු ආකාරයකින් බලපෑම් නොකළ යුතු බවටද සැකකරුට මහේස්ත්රාත්වරයා නියෝග කළා.
මෙම නඩුව එයාර්බස් ගනුදෙනුව මුල් කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පුළුල් විමර්ශනයකට අදාළව අධිකරණය හමුවේ ගොනු කර තිබුණා
මුදල් විශුද්ධිකරණ නඩුවෙන් ඔහුට ඇප හිමිවුවද එයාර්බස් ගනුදෙනුවේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවේ ඇප ඉල්ලීම කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ප්රතික්ෂේප කරනු ලැබූ අතර, ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා එම නඩුවට අදාළව ඔක්තෝබර් 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා..
රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් සිව්වන සැකකරු ලෙස නම් කර සිටින නාමල් රාජපක්ෂ මහතාව අදාළ ක්රිෂ් නඩුවට අදාළව එළඹෙන ඔක්තෝබර් මස 06 වැනිදා යළි කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එයාර්බස් ගනුදෙනුවට අදාළව විදේශගතව සිටින දෙවන සැකකාරිය වන ප්රියංකා නියෝමාලි විජේනායක සහ තෙවන සැකකාර ශමින්ද්ර රාජපක්ෂ යන අයට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා.



