කථානායක ජගත් වික්‍රමරත්න ට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවේ කෙටුම්පත සකස්කර අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා කියා සිටියේ, ලබන 21 වැනිදා මෙම කෙටුම්පත විපක්ෂයේ පක්ෂ නායකයින්ට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
ඒ සඳහා පක්ෂ නායකයින්ගේ අනුමැතිය ලැබීමෙන් පසු, එම සතියේදීම මෙම විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඉන් අනතුරුව මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව කිසිදු හේතුවක් නොමැතිව ප්‍රතික්ෂේප කිරීම මගින් කථානායකවරයා පාර්ලිමේන්තුව නොමග යවා ඇති බවට අජිත් පී. පෙරේරා මන්ත‍්‍රීවරයා චෝදනා කරයි.
කථානායකවරයා සම්බන්ධයෙන් විශ්වාසය භංගවීම නිසා මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මීට අමතරව, කථානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියා කලාපයන් ගැන තවත් කරුණු තිබෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. මේ නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්ම කථානායකවරයා කෙරෙහි විශ්වාසය භංග වී ඇති බවත්, විපක්ෂයේ සියලුම පක්ෂවල සහයෝගයෙන් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට කඩිනමින් ගෙන ඒමට කටයුතු කරන බවද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



