හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීමේ සිදුවීමට අදාළව කුරුඳුවත්ත පොලිසිය වෙත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් ඊයේ (22) නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි ගොනු කරන ලෙසයි.
මෙම නියෝගය නිකුත් කෙරුණේ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතාට එරෙහිව සිදු කෙරෙන විමර්ශනය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
නඩුව කැඳවූ අවස්ථාවේදී දැනට ඇප මත පසුවන සැකකරු අධිකරණයේ පෙනී සිටි අතර, කුරුඳුවත්ත පොලිසිය එහිදී සඳහන් කළේ මෙම සිදුවීමට අදාළ කරුණු නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා යොමු කර ඇති බවයි.
එම අවස්ථාවේදී සැකකරු සම්බන්ධයෙන් 486 සහ 433 යන වගන්ති යටතේ පැමිණිලි ගොනු කොට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට දන්වා සිටියා.
මෙම විමර්ශනය ආරම්භ වී තිබුණේ හිටපු අමාත්‍යවරයාගේ දියණිය වන හිරුණිකා රඹුක්වැල්ල මහත්මිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි.
අදාළ නිල නිවස ඉදිරිපිට මල් වඩමක් තබමින් සපරාධී බියගැන්වීමක් මෙන්ම අපහාසයක් සිදු කර ඇති බවට ඇය විසින් පැමිණිලි කර තිබුණා.
ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාවට එරෙහිව සිය විරෝධය පළ කිරීමක් වශයෙන්, මෙලෙස මල් වඩම් තබමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් මෙම විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, මෙම නඩුව නැවතත් සැප්තැම්බර් 14 වැනිදා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.



