“කෙහෙළියගේ මාවතේම නලින්දත් යනවාද?”

බැක්ටීරියා සහිත එන්නත් සහ බාල ඖෂධ භාවිතය නිසා සිදුවන රෝගී මරණ මෙන්ම, සෞඛ්‍ය පද්ධතිය තුළ සිදුවන මහා පරිමාණ ඖෂධ වංචා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) සහ අල්ලස් කොමිසමට පැමිණිලි දෙකක් ඉදිරිපත් කළේය.

පැමිණිල්ල මගින් පෙන්වා දෙන්නේ වමනය පාලනය සඳහා ලබා දෙන Ondansetron එන්නතෙහි බැක්ටීරියා අඩංගු වීම නිසා රෝගීන් මියයාම සහ කළුතර ගල්ලැස්ස මාතෘ රෝහලේදී ගර්භනී මවක් සිසේරියන් සැත්කම අතරතුර ලබාදුන් ප්‍රතිජීවකයක් ආසාත්මික වී මියයාම දළ වශයෙන් “මනුෂ්‍ය ඝාතන” බවයි.

එකම සමාගමකින් ගෙන්වන ලද ඖෂධ 10කට වඩා වැඩි ප්‍රමාණයක් එකවර භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවීම හරහා මෙම ඖෂධ මාෆියාවේ බරපතලකම මැනවින් පැහැදිලි වන බව වෛද්‍ය චමල් සංජීව අවධාරණය කළේය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පාලන සමයේදී සිදුවූවාක් මෙන්ම, වර්තමාන ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සහ රාජ්‍ය ඖෂධ සංස්ථාව (SPC) ද නිසි ප්‍රමිතියෙන් තොරව ඖෂධ ගෙන්වීමට සහ බෙදාහැරීමට කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වේ.

විශේෂයෙන්ම, ඖෂධ රෝහල්වලට බෙදා දීමෙන් පසු අහඹු සාම්පල පරීක්ෂා නොකිරීම, වීදුරු කැබලි තිබීම නිසා ඉවත් කළ ඖෂධ යළි භාවිතා කිරීමට උපදෙස් දීම, භාවිතයෙන් ඉවත් කළ යුතු කල් ඉකුත් වූ ඖෂධ යළි භාවිතයට චක්‍රලේඛ නිකුත් කිරීම කෙරෙහි මෙහිදි මූලික අවදානයක් යොමුව තිබේ.

මෙම දූෂිත ක්‍රියාවලිය පිටුපස පවතින අසාමාන්‍ය මූල්‍ය ලාභය සහ දේශපාලන සම්බන්ධතා පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. කෙහෙළිය රඹුක්වැල්ල හිරේ යැවූ නීතියම, වර්තමාන වගකිවයුත්තන්ට ද අදාළ විය යුතු බවත්, මෙම සාපරාධී නොසලකා හැරීම් සම්බන්ධයෙන් වත්මන් සෞඛ්‍ය බලධාරීන් වගකිව යුතු බවත් වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *