කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට අධි චෝදනා භාරදෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල සහ දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබුණු නඩු දෙකක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අද (17) අධි චෝදනා භාරදී තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදුව තිබෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල, රමිත රඹුක්වැල්ල, දියණිය වන අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුණී ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව ගොනු කර තිබුණු නඩු දෙකකට අදාළව මෙම චෝදනා භාරදීම සිදු වූ අතර, ඉන් අනතුරුව ඔවුන් ඇප මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එම නඩු දෙක ජනවාරි මස 12 සහ 14 යන දිනවල කැඳවන ලෙසද නියෝග කරනු ලැබුණා.

මේ අතර, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල යන අයට එරෙහිව තවත් නඩුවක් සඳහා මෙහිදී අධි චෝදනා භාරදීම සිදු කළ අතර, ඉන් අනතුරුව ඔවුන් ඇප මත මුදා හැරීමටද නියෝග කෙරුණා.

එම නඩුව යළි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි මස 20 වැනිදා කැඳවීමටද නියෝග කර තිබෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරමින් සිටි කාලසීමාව තුළ අයථා ලෙස වත්කම් හා දේපළ අත්පත් කර ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මෙම නඩු ගොනු කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *