නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාව පොලීසිය විසින් ඝාතනය කිරීම වළක්වා බන්ධනාගාරයෙන් නිදහස් කර දීම සඳහා විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ යන සැකකරුවන් විසින් මෙරට ඉහළම දේශපාලනඥයන්, අමාත්‍යාංශ සහ උසස් පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දීමට සැලසුම් කළ ආකාරය පිළිබඳව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
සැකකාර චරිත් අබේසිංහ සහ නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ යන අය හරක් කටාගේ බිරිඳ මුණගැසී තමන් එවකට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් සහ නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් වැඩ කටයුතු සූදානම් කර දෙන බවට පොරොන්දු වී ඇති බව මෙම සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන හේරත් මුදියන්සේලාගේ කෝනාරගෙදර නිර්මාණ ඉන්ද්‍රජිත් බණ්ඩාර නොහොත් හර්බි නැමැත්තා ප්‍රකාශ කර ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළා.
එහිදී හරක් කටා නැමැත්තා ඝාතනය කිරීමේ සැලසුම් දැනටමත් වළක්වා ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කර ඇති බවට චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ යන සැකකරුවන් විසින් පවසා ඇති අතර, ඒ වෙනුවෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට රුපියල් ලක්ෂ 500ක මුදලක් ලබා දිය යුතු යැයි පැවසූ බව හර්බි නැමැත්තා පවසා තිබෙනවා.
එමෙන්ම හර්බි නමැත්තා පවසා ඇත්තේ, මාස තුනක් ඇතුළත හරක් කටාගේ රඳවා තැබීමේ නියෝගය ඉවත් කර දීම සඳහා එවකට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත රුපියල් ලක්ෂ 500ක මුදලක් ලබා දිය යුතු යැයි මෙම සැකකරුවන් ප්‍රකාශ කළ බවයි.
ජනාධිපති ලේකම්වරයා සෘජුවම මුදල් ලබානොගන්නා නිසා වෙනත් ක්‍රමයකට එම කටයුත්ත සිදු කරන බවත් එනම් සාගල රත්නායක මහතා මාර්ගයෙන් එම ක්‍රියාව කරගන්නා බවට චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ විසින් හරක් කටාගේ බිරිඳට පවසා තිබෙනවා.
මේ අතර හරක් කටාව බූස්ස බන්ධනාගාරයට නොයවා කෑගල්ල බන්ධනාගාරය වැනි සාමාන්‍ය බන්ධනාගාරයකට මාරු කරවා ගැනීම සඳහා අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයේ නිලධාරීන්ට රුපියල් ලක්ෂ 500ක මුදලක් වියදම් කිරීමට සිදු වන බව සැකකරුවන් විසින් පවසා තිබෙනවා.
මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටාගේ වැඩකටයුතු වෙනුවෙන් එහි සිටින ප්‍රසාද් රණසිංහ, තුසිත කහගල්ල ඇතුළු තවත් නිලධාරීන් කිහිපදෙනෙකුට ලබා දීම සඳහා තවත් රුපියල් ලක්ෂ 500ක මුදලක් වියදම් වනු ඇතැයි සැකකරුවන් විසින් ප්‍රකාශ කර ඇති බවට හර්බි නමැත්තා සාක්ෂි ලබාදී තිබෙනවා.
එහිදී රඛිත රාජපක්ෂ විසින් “අපේ තාත්තා මේ ගැන අහගනියි. එයා තාත්තාගේ පැත්තෙන් වෙන්න ඕන දේවල් මම කරලා දෙන්නම්. නීතිපති එක පැත්තෙන් වෙන්න ඕන එකත් මම බලාගන්නම්. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට සල්ලි ටික ලෑස්ති කරලා දෙන්න” යනුවෙන් පවසා ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළා.
එමෙන්ම මීට පෙර පොලිස් අත්අඩංගුවේදී මධුෂ්ව සිදුවූ දේ සිහිපත් කරමින් හරක් කටාගේ බිරිඳ දැඩි සේ බිය ගන්වා රටේ ඉහළම දේශපාලන, බන්ධනාගාර සහ ආරක්ෂක බලධාරීන්ගේ නම් භාවිත කරමින්, සැකකරුවන් මෙම රුපියල් කෝටි ගණනක අල්ලස් මුදල් ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ වැඩිදුරටත් අනාවරණය කළා.
කෙසේවෙතත් හරක් කටාගෙ බිරිඳ සතුව එතරම් විශාල මුදලක් නැති බව පැවසූ විට, චරිත් සහ රඛිත සාකච්ඡා කර ලක්ෂ 3000කට සහ අවසානයේ ලක්ෂ 2000කට එකඟ වී ලක්ෂ 1200ක් අත්තිකාරම් මුදල් ලෙස ඉල්ලා තිබෙනවා.
පසුව හරක් කටාගේ බිරිඳ විසින් ලක්ෂ 1000ක වටිනාකමකින් යුතු ඩිරාම් මුදල් හර්බිගේ නිවසට ගෙනවිත් දුන් පසු රඛිත රාජපක්ෂ, චරිත් සහ අරුණ යන සැකකරුව්දන් උන්ඩියල් ක්‍රමයට ලංකාවට යවා ැඇති බවත් පසුව තවත් ලක්ෂ 200ක ඩිරාම් මුදල් ද ලබා දී ඇති බවත් අනාවරණය වී තිබෙනවා.
සැකකරුවන් පොරොන්දු වූ පරිදි අදාළ කටයුතු ඉටු නොවීම හේතුවෙන් බිරිඳ විසින් මුදල් ආපසු ඉල්ලූ විට චරිත් අබේසිංහ පවසා තිබෙන්නේ මුදල්වලින් කොටසක් රඛිත රාජපක්ෂ වෙත ලබා දී ඇති බැවින් ඒවා ආපසු ලබාගත නොහැකි බවයි.
පසුව චරිත්ගේ හිතවතෙකු මාර්ගයෙන් ලක්ෂ 200ක මුදලක් නැවත බිරිඳ වෙත ලබා දී ඇති බව වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.



