ජනපති නිකුත්කළ යුතු අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුව තවමත් නෑ !

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා අත්‍යවශ්‍ය සේවා හැරුණුකොට අනෙකුත් රාජ්‍ය සේවා සීමා කරමින් අද දිනට රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණ ද, ඒ සඳහා අත්‍යාවශ්‍ය සේවා නිශ්චිතව නම් කරන ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය තවමත් නිකුත් වී නොමැති බවට නිලධාරීන් මැසිවිලි නඟයි.

මෙම තත්ත්වය රාජ්‍ය සේවා ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ව්‍යාකූලතාවක් ඇති කර තිබෙන බවද ඔවුන් පෙන්වා දෙයි.

1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ, යම් සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණි.

මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව නිශ්චිත නීතිමය තත්ත්වයක් තවමත් පැහැදිලි වී නැත.

නිලධාරීන් පෙන්වාදෙන ආකාරයට අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කිරීමේදී, මහජනතාවගේ දෛනික ජීවිතයට අත්‍යවශ්‍ය වන පහසුකම් නොකඩවා පවත්වාගෙන යාම තහවුරු කෙරේ.

සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරන ප්‍රධාන ක්ෂේත්‍ර මෙසේය.

සෞඛ්‍ය සේවා: රෝහල්, සායන, බෙහෙත් ශාලා සහ රෝගී සත්කාරක සේවා.

විදුලිබල සැපයුම: විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම.

ඉන්ධන සැපයුම: ඛනිජ තෙල් සහ ගෑස් ආශ්‍රිත නිෂ්පාදන බෙදා හැරීම හා ප්‍රවාහනය.

ප්‍රවාහන සේවා: දුම්රිය සහ බස් රථ සේවා වැනි පොදු ප්‍රවාහන සේවාවන්.

වරාය සේවා: නෞකා මගින් භාණ්ඩ ගොඩබෑම, ප්‍රවාහනය, තෙල් ගොඩබෑම.

පළාත් පාලන සේවා: කසළ කළමනාකරණය වැනි නගර සභා සහ ප්‍රාදේශීය සභා මගින් සිදුකරන නඩත්තු සේවා.

තැපැල් සේවා සහ බැංකු සේවා (මහ බැංකුව සහ රාජ්‍ය බැංකු).

නිලධාරීන් වැඩිදුරටත් පෙන්වාදෙන ආකාරයට යම් සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කළ විට, එම සේවයේ නිරත සේවකයින්ට රාජකාරියට වාර්තා කිරීම අනිවාර්ය වන අතර, හදිසි වර්ජන හෝ සේවය අඩාල කිරීම් සිදුකිරීම නීතියෙන් සීමා කරනු ලබයි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ මහජනතාවට අත්‍යවශ්‍ය පහසුකම් නොකඩවා ලබා දීම තහවුරු කිරීමයි.

ජනාධිපතිවරයා විසින් අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරනු ඇතැයි රජයේ අපේක්ෂාව වී තිබේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *