මණ්ඩතිව් දූපතේ ඉදි කිරීමට යෝජිත යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අදාළ ඉදිකිරීම් සඳහා අවශ්‍ය වන මූලික පාරිසරික වාර්තා ලබාගෙන නොමැති බවට අනාවරණය වීමත් සමඟයි.
මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 සැප්තැම්බර් මස 01 වනදා නිල වශයෙන් ආරම්භ වුණා.
එහිදී ජනාධිපතිවරයා විසින් ක්‍රීඩාංගණය සඳහා මුල්ගල තැබූ අතර, ඉන් අනතුරුව එම ස්ථානයේ පැවති ජන හමුවකට ද සහභාගී වුණා.
දිගුකාලීන සැලැස්මක් යටතේ මණ්ඩතිව් දූපත ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහිත ක්‍රීඩා නගරයක් බවට පත්කිරීම මෙහි අරමුණ වී තිබූ අතර මෙම ව්‍යාපෘතියට ක්‍රිකට් ක්‍රීඩාංගණයට අමතරව අංගසම්පූර්ණ පිහිනුම් තටාකාංගණයක් සහ ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, තරු පන්තියේ හෝටල්, අවන්හල් සහ සුඛෝපභෝගී මහල් නිවාස, සාප්පු සංකීර්ණ මෙන්ම විනෝදාස්වාද මධ්‍යස්ථානයක්ද ඇතුළත් වනවා.
ප්‍රේක්ෂකයින් 40,000කට තරග නැරඹිය හැකි පරිදි අදියර හතරක් යටතේ මෙය ඉදි කිරීමට සැලසුම් කර තිබුණා.
එය සාර්ථකව නිම වූයේ නම්, ජාත්‍යන්තර දිවා/රාත්‍රී තරග පැවැත්විය හැකි ශ්‍රී ලංකාවේ පස්වන ක්‍රීඩාංගණය ලෙසත්, ජාත්‍යන්තර මට්ටමේ හත්වන ක්‍රීඩාංගණය ලෙසත් ඉතිහාසගත වීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත්, පාරිසරික අනුමැතියකින් තොරව සිදුකළ ඉදිකිරීම් නිසා යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස දැනුම්දී තිබෙනවා.



