ජොන්ස්ටන් හොයන්න පොලිස් කණ්ඩායම් 5ක්

සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන නමුත් ඔහු සිටින තැනක් සොයාගැනීමට පොලීසියට නොහැකිවී ඇති බවද වාර්තා වනවා.

ඒ අනුව පොලිස් කණ්ඩායම් 5ක් ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වනවා.

මේ අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ(30) අත්අඩංගුවට ගත්තා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී හා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ සතොස යටතේ පැවති ලොරි රථයක් ඔහුට අයත් බව කියන එතනෝල් සමාගමේ කටයුතු සඳහා යොදවා ඇති බවට ලද පැමිණිල්ලක් අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ එම සිදුවීම සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් රජයට අහිමිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

අදාළ විමර්ශනයට අදාළව නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ එම සිදුවීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙසයි.

ඒ අනුව ජොහාන් ප්‍රනාන්දු මහතාව කුරුණෑගලදී අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ මුදල් විශුද්ධීකරණය, පොදු දේපළ පනත, රජයේ දේපල අවභාවිතය හා සාපරාධි සාවද්‍ය පරිහරණය යන චෝදනා යටතේයි.

එම චෝදනා යටතේම ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකෙරෙන අතර ඔහු මේවන විට සිටින තැනක් සොයාගැනීමට නොහැකි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

මේ අතර අත්අඩංගුවට ගත් සැකකරු අද (31) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *