ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අයත් ෆ්ලොරිඩාහි පිහිටි මාර්-ඒ-ලාගෝ නිවසට සන්නද්ධව ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු රහස් ඔත්තු සේවා නිලධාරීන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පදිංචි 20 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් බවයි.
ඔහු මීට දින කිහිපයකට පෙර අතුරුදහන් වී ඇති බවට ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් වාර්තා කර තිබුණු බව සඳහන්.
ඔහු සතුව වෙඩි බෙහෙත් තුවක්කුවක් සහ ඉන්ධන කෑනයක් තිබී ඇති අතර උතුරු කැරොලිනාවේ සිට දකුණු දෙසට පැමිණෙන අතරතුර ඔහු මෙම තුවක්කුව ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අද අලුයම 1:30ට පමණ වෙනත් වාහනයක් පිටතට යන අවස්ථාවක මොහු සිය වාහනය මාර්-ඒ-ලාගෝ පරිශ්‍රයේ උතුරු දොරටුවෙන් ඇතුළු කර ඇති අතර එහිදී රහස් ඔත්තු සේවා ඒජන්තවරුන් සහ ආරක්ෂක නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඔහු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හෝ මෙලනියා ට්‍රම්ප් මහත්මිය එහි රැඳී සිට නොමැති බව එරට මාධ්‍ය වාර්තා කළා.
ඔවුන් එම අවස්ථාවේ වොෂින්ටන්හි ධවල මන්දිරයේ පසුවූ බව තහවුරු කර තිබෙනවා.
මීට පෙර අවස්ථා කිහිපයකදීම ට්‍රම්ප් මහතා ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයන් එල්ල වී තිබුණා.
පෙන්සිල්වේනියා රැලියකදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඔහුගේ කනට තුවාල සිදු වුණා.



