සිලෝන් නිව්ස්පේපර්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මව්බිම සහ සිලෝන් ටුඩේ පුවත්පත් මුද්‍රණය කිරීම සඳහා කඩදාසි ලබාගැනීමට අදාළව සිලෝන් නිව්ස්පේපර්ස් සමාගම විසින් ලබා දුන් බව කියන චෙක්පත් අගරුවීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව මෙම නියෝගය නිකුත් කර තිබුණා.
පෞද්ගලික සමාගම් දෙකක් අතර සිදුවූ චෙක්පත් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් ඊයේ (30) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම අතුරු නියෝගය නිකුත් කර තිබෙනවා.
හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් හිමිකාරිත්වය දරන සිලෝන් නිව්ස්පේපර්ස් සමාගමේ මව්බිම හා සිලෝන් ටුඩේ පුවත්පත්වල මාධ්‍යවේදීන් ඇතුළු සේවකයන්ට මාස ගණනාවක් තිස්සේ වැටුප් ද වසර ගණනක් තිස්සේ සේවක අර්ථසාධක අරමුදල ද නොගෙවීම නිසා දැඩි පීඩාවකට පත්ව තිබුණා.
ආයතන පාලනාධිකාරිය කම්කරු නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් වසර ගණනක් තිස්සේ සේවකයන්ගේ සේවක අර්ථසාධක මුදල් තැන්පත් කිරීම පැහැර හැර ඇති අතර මේ සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවට එම දෙපාර්තමේන්තුවද සදහන් කළා.
වැටුප් හා අර්ථසාධක මුදල් නොගෙවීම උග්‍ර වෙද්දී මව්බිම දිනපතා පුවත්පත වසා දැමීමට පසුගිය මාර්තු 5 වැනිදා පාලනාධිකාරිය හදිසියේම තීරණය කළ අතර මේ නිසා සේවකයන් විශාල පිරිසකගේ හා ඔවුන්ගෙන් යැපෙන්නන්ගේ ජීවිත රැසක් අවදානමේ හෙලා තිබෙනවා.



