ඩුබායි හි සැගවී සිටි පුංචා, චූටි මල්ලී සහ නිශාමනී දිවයිනට

ඩුබායි හි සැගවී සිටියදී අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු සහ මුදල් වංචාවක විමර්ශන සදහා අවශ්‍යව සිටි කාන්තාවක් විශේෂ පොලිස් නිලධාරීවරුන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන අද (16) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය.

ඔවුන් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අද අලුයම 05.20ට පමණ ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.

ඔවුන් අතර 52 හැවිරිදි  රවීන් චමින්ද වීරසිංහ නොහොත් පුංචා නැමති ඇල්පිටිය, ඌරගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ කිරිඇල්දෙණියගේ දොන් රසික සංජීව කුමාර නොහොත් චූටි මල්ලී නැමැත්තා වන අතර ඔහු කඳාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසු වන්නෙකි.

මොවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, කප්පම් ගැනීම, මංකොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතන සදහා චෝදනා ලැබූවන් බවද පොලීසිය පැවසීය.

මීට අමතරව රජයේ මුදල් වංචා කිරීමක් සම්බන්ධ පොලිස් විමර්ශන සදහා අත්‍යාවශ්‍යව සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි නිශාමනී ද සිල්වා නැමැති කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.

ඔවුන් තිදෙනා අද දින උදෑසන 06.50ට රවීන් චමින්ද හෙවත් පුංචා නැමැත්තා බස්නාහිර උතුර පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයටත්, රසික සංජීව නොහොත් චූටි මල්ලි නැමැත්තා ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට මෙන්ම නිශාමනී ද සිල්වා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථාන කාර්යාලය වෙත දැඩි ආරක්ෂක රැකවල් යටතේ රැගෙන යාමට පියවර ගැනුණි. 

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *