ආපදාවලින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය ලබා දෙන සහනාධාර මුදල් මෙන්ම බැංකු සහන ණය ලබා ගැනීමේදී ජනතාව ඉතා කල්පනාකාරීව සහ වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඊයේ (20) මහනුවරදී පැවැති වැඩසටහනකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේ, රජය ලබා දෙන මෙම මූල්‍යමය පහසුකම් නිසි පරිදි කළමනාකරණය කර ගැනීම මහජනතාවගේ වගකීමක් වන බවයි.
පවතින ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත්වූවන් වෙනුවෙන් රජය විශාල මුදලක් වෙන් කර ඇති බවත්, එම සහනාධාර ලබා ගැනීමේදී තමන්ට අත්‍යවශ්‍ය ප්‍රමාණය පමණක් ලබා ගැනීමට පුරවැසියන් සැලකිලිමත් විය යුතු බවත් ඔහු එහිදී සඳහන් කළා.
එමෙන්ම, අධිපතිවරයා පෙන්වා දෙන්නේ මීට පෙර කොවිඩ් වසංගතය සහ පාස්කු ප්‍රහාරය වැනි අවස්ථාවලදී ලබාදුන් සහන ණය (Moratorium) නිසි කළමනාකරණයකින් තොරව ලබාගත් ඇතැම් පිරිස්, පසුව එම ණය සහ පොලිය ගෙවා ගත නොහැකිව දැඩි අර්බුදයකට ලක්වූ බවයි.
එහිදී, ණය යනු සහනයක් මිස නොමිලේ ලැබෙන මුදලක් නොවන බවත්, රජය සහනයක් ලෙස හඳුන්වා දුන්නද, මෙය පොලියක් සහිතව නැවත ගෙවිය යුතු ණය මුදලක් බව ව්‍යවසායකයින් වටහා ගත යුතු බවත් ඔහු සඳහන් කළා.
බැංකු මගින් ලබාදෙන පළියට තමන්ට දරාගත නොහැකි මට්ටමේ ණය මුදල් ලබා නොගත යුතු අතර, ව්‍යාපාරයේ දියුණුවට අවශ්‍ය අවම මුදල පමණක් ලබාගැනීම නුවණට හුරු බවයි ඔහු සඳහන් කළේ.
අනවශ්‍ය ලෙස ණය ලබා ගැනීමෙන් සැබෑ ලෙසම ණය අවශ්‍යතාවය ඇති වෙනත් ව්‍යවසායකයෙකුට ඇති අවස්ථාව අහිමි වන බව පෙන්වා දුන් අධිපතිවරයා, මූල්‍ය විනය පවත්වා ගනිමින් තම ව්‍යාපාරික කටයුතු සිදුකිරීමේ වැදගත්කම එහිදී පැහැදිළි කරනු ලැබුවා.



