“තර්ජන එල්ල වී ඇති මන්ත්‍රීවරුන් විසි දෙදෙනාගේ නම් හෙළි කරන්න”

මරණ තර්ජන එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසි දෙදෙනාගේ නම් වහාම හෙළි කරන ලෙසට තමා කතානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලීමක් කළ බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කරනවා.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඊයේ (18)දින විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතානායකවරයා හමු වී මේ සම්බන්ධයෙන් කතානායකවරයාට දැනුම් දුන් බවයි.

මීට පෙර පොලිස්පතිවරයා පක්ෂ නායකයින් හමුවට පැමිණි අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව ගැන සාකච්ඡා කළ බවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසි දෙදෙනෙකුට මරණ තර්ජන එල්ල වී ඇති බවට එහිදී හෙළි වූ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් විසි දෙදෙනාට ආරක්ෂාව ලබාදීමට ආණ්ඩුව ක්‍රියා නොකරනවා නම් අඩුම ගණනේ තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ටම සලසා ගැනීම සඳහා මෙම නම් විසි දෙක හෙළි කරන ලෙස තමා ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කරනවා.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මරණ තර්ජන තිබෙන මන්ත්‍රීවරුන්ගේ නම් හෙළි නොකිරීම නිසා තර්ජන තිබෙන මන්ත්‍රීවරුන් කවුරුන්ද කියා හරියටම දැනගත නොහැකි බවයි.

මෙම මන්ත්‍රීවරුන් විසි දෙදෙනාට ආරක්ෂාව ලබාදිය නොහැකි නම් එම මන්ත්‍රීවරුන් විසි දෙදෙනාගේ නම් හෙළි කරන ලෙසට තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බවයි මුජීබර් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ .

තමාට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් තමා පොලිසියට පැමිණිලි කළ ද මේ දක්වා තමාට ආරක්ෂාව ලබාදී නොමැති බව ද මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *