තහනම නොතකා වින්ච් දැමූ මාදැල් ධීවරයා අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස වින්ච් යන්ත්‍ර යොදා ගනිමින් මාදැල් කර්මාන්තයේ නිරත වුණු ධීවරයෙකු අදාළ වින්ච් යන්ත්‍ර සවිකළ ට්‍රැක්ටර් රථ දෙකක්ද සමගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මග්ගොන කුඩාව ධීවර වරාය ආසන්නයේ මෙලෙස වින්ච් යන්ත්‍ර යොදාගෙන මාදැල් ඇදීමේ කටයුතුවල නිරතවෙමින් සිටියදී කළුතර ධීවර පරීක්‍ෂක කාර්යාලයේ නිලධාරීන් පැමිණ සැකකරු සිය භාරයට ගෙන මෙලෙස පයාගල පොලීසියට භාරදී තිබුණි.

ඊයේ (23) සවස මෙම වැටලීම සිදුකර තිබූ අතර ධීවර පරීක්ෂණ නිලධාරීන් එම ස්ථානයට ළඟාවෙන අවස්ථාවේදීත් සැකකරු වින්ච් යන්ත්‍ර දෙකක් යොදාගෙන මාදැල් ඇදීමේ කටයුතුවල නිරතවෙමින් සිට තිබේ. 

මෙලෙස පයාගල පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ මග්ගොන ප්‍රදේශයම පදිංචි ධීවරයෙකු වන අතර ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටට නියමිතය.

ට්‍රැක්ටරයකට සවිකරන ලද වින්ච් යන්ත්‍ර මගින් සිදුකරන මාදැල් ධීවර කටයුතුවලට පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලා ධීවරයින් පිරිසක් පෙබරවාරි මස ඉකුත් 5 වනදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණි.

එම සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක වෙද්දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විරෝධතාවයේ නිරත මාදැල් ධීවරයන්ට පෙබරවාරි මස 13 වනදා පස්වරුවේ සාකච්ඡාවක් ලබාදුනි.

විරෝධතාවයේ නිරත ධීවරයන්ට ජනාධිපති කාර්යාලය වෙත ආරාධනා කළ ජනාධිපතිවරයා ඔවුන් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත විය.

එහිදී සියලු පාර්ශ්වයන් එක්ව කෙටි කාලයක් තුළ සාකච්ඡා මාර්ගයෙන් වඩාත් සුදුසුම විසඳුම් යෝජනා කරගැනීමට එකඟතාව පළ කෙරුණු අතර, විරෝධතාව නතර කිරීමටද තීරණය කෙරුණි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *