විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කර අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන ධර්මපාල ගම්මන්පිල විගණකාධිපති තනතුර සඳහා පත් කිරීම සුදුසු බව ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.
මෙම පුරප්පාඩුව සඳහා නිලධාරියෙකු කඩිනමින් පත්කරන්නැයි දන්වමිනුයි ත්‍රෛනිකායික මහ නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත මෙසේ ලිපියක් යොමුකර ඇත්තේ.
අදාළ ලිපියෙන් මහ නා හිමිවරුන් දැනුම්දී ඇත්තේ එම තනතුර සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර නිලධාරියෙකු පත් කිරීම සුදුසු නොවන බවයි.
හිටපු විගණකාධිපති W.P.C වික්‍රමරත්න විශ්‍රාම යාමත් සමග 2025 අප්‍රේල් 08 වැනිදා සිට මේ දක්වා විගණකාධිපති ධුරයට කිසිවෙකු පත් කිරීමට හැකියාව ලැබී නැහැ.
ඒ අනුව පසුගිය වසරේ අප්‍රේල් 9 වැනිදා සිට එම ධුරයේ වැඩ බැලීම සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන ධර්මපාල ගම්මන්පිල පත් කෙරුණු අතර ඔහුගේ වැඩ බැලීමේ කාලය ද දෙසැම්බර් මස 05 වැනිදායින් අවසන් වුණා.
ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධුරය සඳහා අවස්ථා කිහිපයකදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් යෝජනා කළ ද එම නාම යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ප්‍රතික්ෂේප කළා.
එවන් පසුබිමකයි විගණකාධිපති ධුරය සඳහා නිලධාරියෙකු පත් කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එමගින් උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ මේ දක්වා විගණාකාධිපතිවරයෙක් පත් නොකිරීම හමුවේ විවිධ පාර්ශ්වයන් රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ මතභේදයක් ඇති කිරීමට උත්සාහ දරන බවයි.
රජයේ ආර්ථික සංවර්ධන වැඩසටහන පිළිබඳව ද ඒ හරහා සෘණාත්මක මතවාද සමාජගත වන බව ද එම ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයකදීම අදාළ ධුරය සඳහා නම් යෝජනා කළ ද එවැනි භාරධූර කාර්යයක් සඳහා ඔවුන්ගේ ශක්‍යතාවක් නොමැතිවීම හමුවේ එම නම් ප්‍රතික්ෂේප වී ඇති බවට වාර්තා වූ බව ද අදාළ ලිපියේ සඳහන්.
මහ නා හිමිවරුන් සිය ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කරන්නේ විගණකාධිපති ධුරය වැනි රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිද භාවය තහවුරු කිරීමේ වගකීම් සම්භාරයක් පවතින තනතුරක් සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවට පරිබාහිර පුද්ගලයෙකු පත් කිරීම යෝග්‍ය නොවන බව සිය විශ්වාසය බවයි.



