ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීමේදී පොලිසියට එල්ල වූ දේශපාලන බාධා කිරීම් වර්තමානය වන විට සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
ඊයේ (27) පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව අවධාරණය කළා.
පෙර පැවැති තත්ත්වය සහ වත්මන් තත්ත්වය සංසන්දනය කරමින් පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ, අතීතයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව ක්‍රියා කිරීමේදී දේශපාලන බලපෑම් මඟහරවා ගැනීම පොලිසියට විශාල අභියෝගයක් වූ බවයි.
වත්මන් දේශපාලන වටපිටාව තුළ පොලිසියට එවැනි කිසිදු බාධාවක් නොමැති බව පොලිස්පතිවරයා සඳහන් කළා.
යම් හෙයකින් එවැනි දේශපාලන සබඳතාවක් හෝ පැවතුණද, වර්තමානය වන විට තරාතිරම නොබලා වැටලීම් සිදුකිරීමට පොලිසියට පූර්ණ නිදහස පවතින බවද ඔහු ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස්පතිවරයා කියා සිටියේ,
“මත්ද්‍රව්‍ය කිව්ව ගමන්ම ඒ දවස්වල අනිත් පැත්තෙන් ඇහුවේ ඇයි පොලිසිය ක්‍රියා කරන්නේ නැත්තේ කියලා. ඒත් එක්කම පොලිසියේ ක්‍රියා කරනකොට අපිට තිබුණේ දේශපාලන සම්බන්ධය කොහොමද නවත්තගන්නේ කියලා. මං හිතන්නේ අපිට ඒ බාධාව අද නෑ.දේශපාලන සම්බන්ධයක් තියෙන මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් නෑ. ලංකාවේ දැනට බලය තියෙන දේශපාලන අධිකාරියත් එක්ක මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ නෑ. ඒ සම්බන්ධ වුනත් යම් සම්බන්ධයක් තියෙනවා නම් සම්බන්ධතාවලටත් බාධාවක් නෑ ඒ වැටලීම් කරන්න.”



