නීතිපතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වීම සඳහා මහජන විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.
මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ, නීතීඥවරුන්, මාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරින් පිරිසක් විසින්.
ඒ අනුව විරෝධතාවය අනිද්දා (21) උදෑසන 10.00 ට කොළඹ, අලුත්කඩේ උසාවිය අසලදී පැවැත්වීමට නියමිතයි.
නීතිපති දෙපාර්තමේන්තුව තුළ සිදුවන බව කියන දූෂණ ක්‍රියාවන්ට සහ දූෂිත පුද්ගලයන් ආරක්ෂා කිරීමට නීතිපතිවරයා කටයුතු කරන බවට චෝදනා කරමින්, ඊට එරෙහිව මෙම මහජන විරෝධතාවය සංවිධානය කර තිබෙනවා.
නීතිපතිවරයා විසින් ඇතැම් දූෂිත පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර ඔවුන් ආරක්ෂා කරන බවට චෝදනා එල්ල වී තිබුණා.
නීතිපතිවරයාට එරෙහි චෝදනා අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිබද විමර්ශනයේදී නීතිපතිවරයා පක්ෂග්‍රාහීව කටයුතු කර ඇතැයි එල්ලවෙන චෝදනාව ප්‍රධාන චෝදනාවක් වී තිබෙනවා.
ඊට අමතරව මහර සිරකරු ඝාතනය, මහේෂ් ඉන්දික නම් තරුණයා ඝාතනය කිරීම ඇතුළු සිදුවිම්වලදී නීතිපතිවරයා කටයුතු කළ ආකාරයද විවේචනයට ලක් වී තිබුණා.
මීට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකගේ සහෝදරයාගේ බිරිද පාතාලයට සම්බන්ධ යැයි සැක පිට විදේශ රටකදී අත්අඩංගුවට පත් වීම ඇතුළු තවත් සිදුවීම් රැසක් නීතිපතිවරයාට එරෙහි චෝදනා ලෙස විරෝධතාකරුවන් එල්ල කර තිබෙනවා.
එමෙන්ම ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව සැකකරුවන් කිහිප දෙනෙක් චෝදනාවලින් නිදහස් කිරීමට තීන්දු කළ නිසා පසුගිය වසරේදී නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට නීතිපතිවරයාට එරෙහිව විරෝධතාවයක් පැවැත්වුණා.
මේ අතර අද දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදි බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන්ට එරෙහිව ඇති චෝදනා ඉවත් කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව ගත් උත්සහය අසාර්ථක වුණා.
ඒ අනුව දූෂිත පාලනයකට එරෙහිව හඬ නැගීම සඳහා සියලු දෙනාට එක්වන ලෙස සංවිධායකයින් ආරාධනා කර සිටිනවා.
මේ අතර නීතිපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව මහජන විරෝධතාවක් සංවිධානය කර ඇති පසුබිමක, නීතිපතිවරයාගේ ගෞරවය තහවුරු කළ යුතු බව පවසමින් “ෆ්‍රී ලෝයර්ස්” (Free Lawyers) සංවිධානය ද එදිනම පස්වරු 1:45 ට විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.
එම සංවිධානය නීතිඥවරුන්ට ආරාධනා කර ඇත්තේ, අලුත්කඩේ නීතිපති කාර්යාලය අසලට රැස්වන ලෙසයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ ගෞරවය තහවුරු කිරීම ඔවුන්ගේ මෙම විරෝධතාවයේ ප්‍රධාන අරමුණ බවට එම සංවිධානය පවසනවා.



