පන්දුව හිසේ වැදීමෙන් 17 හැවිරිදි ක්‍රීඩකයාට දිවි අහිමි වෙයි

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පුහුණු සැසියකදී ක්‍රිකට් පන්දුවක් ශරීරයේ වැදීමෙන් 17 හැවිරිදි ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ බෙන් ඔස්ටින් (Ben Austin) නම් ක්‍රීඩකයායි.

පසුගිය අඟහරුවාදා ෆර්න්‍ට්‍රී ගලී (Fetree Gully)හි ක්‍රිකට් දැල තුළ පුහුණුවීම් කරමින් සිටියදීයි මෙම සිදුවීම සිදුව ඇත්තේ.

ඔහුගේ හිසට හෝ ගෙල ප්‍රදේශයට පන්දුව වැදී ඇති අතර, ඔහු හිස්වැස්මක් (helmet) පැළඳ සිටි බවට විශ්වාස කෙරෙන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පන්දුව වැදීමෙන් පසුව බෙන් ඔස්ටින් ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් මොනාෂ් ළමා රෝහලට (Monash Children’s Hospital) ඇතුළත් කර තිබෙනවා.

ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් බෙන් ඔස්ටින් ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජ දෙකම දැඩි කම්පනයට හා ශෝකයට පත්ව ඇති බවයි ප්‍රකාශ කර ඇත්තේ.

මෙම සිද්ධියට වසර දහයකට පමණ පෙර, එනම් 2014 දී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක පිලිප් හියුස් (Phillip Hughes) තරගයකදී පන්දුවක් බෙල්ලේ වැදීමෙන් මිය ගොස් තිබුණා.

ඔහුගේ මරණයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවේ ආරක්ෂක උපකරණ වැඩි දියුණු කිරීමටයි එරට පියවර ගෙන ඇත්තේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *