පසුගිය පාලන සමයන්හිදී මෙරටට සිදුකර ඇති දැවැන්ත අපරාධ සහ මහා පරිමාණ දූෂණ එකින් එක දිගහැර බලන විට අතීත දූෂිත දේශපාලනයේ නිරත වූ කිසිවෙකුත් ඉතිරි නොවන තරමට තත්ත්වය බරපතළ බවත් එම සියලු දෙනාටම දඬුවම් දෙන්න වේවිදැයි තමන්ටත් බියක් සිතෙන තරමට එම විනාශය ගැඹුරු එකක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
බාහිර සමාජයේ සිට දූෂණය පිළිබඳව කතාබහ කිරීමට වඩා රජයේ අභ්‍යන්තර තොරතුරු සහ ලිපිගොනු පරීක්ෂා කිරීමේදී මුළු රටම ගිලගත් මහා අපරාධ ජාලයක බරපතළකම පැහැදිලි වන බව සඳහන් කළ ජනාධිපතිවරයා, මෙම තත්ත්වය නිසා ලෝකය හමුවේ ශ්‍රී ලංකාව “කළු රටක්” සහ ආර්ථිකය කඩා වැටුණු දූෂිත දේශයක් ලෙස අපකීර්තියට පත්ව තිබූ බවත් එම කළු රාජ්‍යය බිඳදමා රට පිරිසිදු කිරීමේ වගකීම වත්මන් රජය අනිවාර්යයෙන්ම ඉටු කරන බවත් කියා සිටියා.
අතීතයේ පැවති පාලනයන් තුළ සිදු වූයේ දේශපාලනඥයන් සහ නිලධාරීන් එක්ව සිදුකළ ව්‍යාජ “හොරා-පොලිස්” නාටකයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සඳහන් කළේ,
“ඉස්සෙල්ලා ඔක්කොම ‘හොරා හොරා’ කියලා පස්සෙන් පොලීසිය පන්නනවා. ඊට පස්සේ හොරා ගිහින් හැංගෙනවා. ඇඳිරිය වැටුණාම ඔක්කොම එකතු වෙලා තේ කෝප්පයක් බීලා, යාළුවෙක්ගේ ගෙදර ගිහින් විසිර යනවා. ඒගොල්ලෝ කවදාවත් හිතුවේ නැහැ වෙන කණ්ඩායමක් ඇවිත් ඇත්තටම පොලීසිය එවාවි කියලා. මෙච්චර කල් විහිළුවට තිබුණු හොරා-පොලිස් සෙල්ලම දැන් ඇත්තටම ක්‍රියාත්මක වෙනකොට තමයි මේ හැමෝම කලබල වෙලා තියෙන්න” යනුවෙනි.
දැනට දිනපතා පුද්ගලයන් නීතියේ රැහැනට හසුවීම පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, වසර 15-20ක් තිස්සේ ගොඩගැසී තිබූ පැරණි නඩු සහ විමර්ශන විශාල ප්‍රමාණයක් එකවර විසඳීමට යාමේදී මෙලෙස දිනපතා පිරිස් කොටුවන බවයි.
එමෙන්ම ඇතැම් අපරාධ සම්බන්ධයෙන් වසර 20 ඉක්මගිය පසු කාලාවරෝධ නීතිය යටතේ නඩු පැවරීමට නොහැකි වන බැවින් මෙම විමර්ශන කඩිනමින් අවසන් කළ යුතු බවත් එලෙස කඩිනමින් නීතිය ක්‍රියාත්මක වන විට විපක්ෂය දේශපාලන පළිගැනීම් යන ලේබලය ඇලවීමට උත්සාහ කරන බවත් ඔහු පෙන්වාදෙනවා.
ජනාධිපතිවරයා පවසන්නේ, 2018 වසරේ ගොනු කළ නඩුවලට 2026 වන තුරුත් එකදු සාක්ෂිකරුවෙකුගෙන්වත් සාක්ෂි සටහන් කර නොගැනීම, නීතිපති දෙපාර්තමේන්තුව හරහා දේශපාලන බලපෑම් මත නඩු ඉල්ලා අස්කර ගැනීම සහ අල්ලස් කොමිසමෙන් වැරදි සහගත ලෙස නඩු පැවරීම නිසා මෙරට යුක්තිය පසිඳලීම මුළුමනින්ම ඇනහිට තිබූ බවයි.
ඒ අනුව මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ලබන ජනවාරි මාසයේ සිට පොලිස් නිලධාරීන් සඳහා විශේෂ දීමනාවක් ලබාදීමට සැලසුම් කිරීමටත් පහසුකම්, වාහන සහ විශේෂ දීමනා ලබාදීම හරහා මින් පෙර විශාල ලෙස ප්‍රමාද වූ රස පරීක්ෂක වාර්තා එක් මසක් තුළ 9,084ක් දක්වා කඩිනමින් නිකුත් කිරීමට මඟ සැලසීම යනාදිය රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ලෙස සඳහන් කළා.
කොළඹ නගරය තුළ පමණක් අලුතින් මහාධිකරණ 7ක් ස්ථාපිත කරමින්, සිදුවීම් අමතක වීමට පෙර කඩිනමින් නඩු තීන්දු ලබාදීමට පියවර ගැනීමට ඊට ඇතුළත් බවට ඔහු පැවසුවා.
නීතිය නිසි පරිදි ක්‍රියාත්මක විමේදී මහා පරිමාණ දූෂණවලට සම්බන්ධ පුද්ගලයන් කලබලයට පත්ව විදෙස් තානාපති කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන වෙත දිවයමින් සිටින බව හෙළි කළ ජනාධිපතිවරයා, ජනතාව වෙනුවෙන් ගත් කිසිදු තීරණයක් ආපසු නොහරවන බව අවධාරණය කළා.
තවද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නියමිත දින 21ක කාලය තුළ ලැබුණු වහාම එය ක්ෂණිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට කටයුතු කරන බවත් දූෂිතයන්ට නිසි දඬුවම් ලබාදීම හරහා මෙරට පැවති කළු ආර්ථිකය සහ අඳුරු යුගය මුළුමනින්ම අවසන් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියා.



