මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇති ඉරාන කණ්ඩායම ඉවත් කර, ඒ වෙනුවට ඉතාලියට අවස්ථාව ලබා දෙන ලෙස ඉදිරිපත් වූ යෝජනාව ඉතාලි රජය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉතාලි ක්‍රීඩා අමාත්‍ය ඇන්ඩ්‍රියා අබෝඩි (Andrea Abodi) ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙනුවට ඉතාලි කණ්ඩායම හෙවත් “Azzurri” කණ්ඩායම නම් කිරීම කිසිසේත්ම උචිත නොවන බවයි.
මේ සම්බන්ධයෙන් Sky News වෙත අදහස් දක්වමින් ඔහු අවධාරණය කර ඇත්තේ, ලෝක කුසලානයකට සුදුසුකම් ලැබීම ක්‍රීඩා පිටිය තුළ දක්ෂතා මත සිදු විය යුත්තක් මිස මෙවැනි මැදිහත්වීම් මත සිදු නොවිය යුත්තක් බවයි.
මෙම ආන්දෝලනාත්මක යෝජනාව ඉදිරිපත් කර තිබුණේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීප හිතවතෙකු වන පාඔලෝ සැම්පොලි (Paolo Zampolli) විසින්.
ඉරානය තරගාවලියෙන් ඉවත් කර සිව්වතාවක් ලෝක ශූරතාව දිනූ ඉතාලියට ඒ සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ඔහු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් (FIFA) ඉල්ලීමක් කර තිබුණා.



