පාර්ලිමේන්තුව කැඳවන්නැයි නාමල්ගෙන් ඉල්ලීමක්

ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් හා අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මහජන නියෝජිතයාගේ වගකීම ඉටුකිරීමට, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ පාර්ලිමේන්තුව කැඳවන මෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර ඇත.

අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මැතිනිය වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන් කර සිටී.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් රටේ දිස්ත්‍රික්ක ගණනාවක විශාල පිරිසකගේ ජීවිත මෙන්ම දේපල හානි ද සිදු වූ බව නාමල් රාජපක්ෂ මහතා එම ලිපියේ දක්වා ඇත.

මෙයින් ජන ජීවිතවලට මෙන්ම රටේ ආර්ථිකයට ද බරපතළ හානි සිදු වූ අතර එය අදටත් නිශ්චිතව ගණනය කළ නොහැකි බවද අදාළ ලිපියේ දැක් වේ.

එමෙන්ම මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවක මහජන නියෝජිතයින් වශයෙන් ඉතා ඉක්මනින් වගකීම් සහගතව මැදිහත් විය යුතු බවද ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර ඇත.

ජන ජීවිතය සෑම අංශයකින්ම යථා තත්ත්වයට පත්කිරීම සඳහා ආණ්ඩුව මීට වඩා විධිමත්ව මැදිහත් විය යුතු බව ද එහි සඳහන් වේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *