පාස්පෝට් ගැටලුව යථා තත්ත්වයට

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක සහ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා පැවසුවේ, මේ හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ දෙපාර්තමේන්තුවේ කටයුතු නැවත ආරම්භ කළ බවයි.

ඒ අනුව ගුවන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් යථා තත්ත්වයට පත් කර ඇති බවත් ගමන් බලපත්‍ර, එක්දින ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීමේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුකරමින් පවතින බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම මේ වන විට කඩිනමින් නිකුත් කළ යුතු සහ ඉතාම අත්‍යවශ්‍ය සැපයීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයිද පැවසූ ඒ මහතා සඳහන් කර සිටියේ දෙපාර්තමේන්තුවේ ශාඛා ජාලයන්හී කටයුතුද මේ වන විට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.

ඊයේ (12) වැනි දින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියේ ඇතිවූ හදිසි දෝෂයක් හේතුවෙන් එහි සේවා කටයුතු බිඳ වැටුණා.

එම බිඳ වැටීමත් සමග එම දෙපාර්තමේන්තුවේ සියලුම ශාඛාවන් හී සේවාවන්ද අඩාල වූ අතර එම තත්ත්වය හේතුවෙන් ඉතා හදිසි නොවන අවස්ථාවලදී ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණීම ලබන සතිය දක්වා කල් දමන ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

ඇතිවූ හදිසි තාක්ෂණික දෝෂය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ තාක්ෂණික කමිටුවක් එක්ව පියවර ගත් බවත් පැවසූ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ වන විට එම කටයුතු යථා තත්ත්වයට පත් කර දෙපාර්තමේන්තුවේ සියලුම කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරමින් යන බවයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *