පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් පොලිස් මූලස්ථානයේ වගකිව යුතු ඉහළ තනතුරක් හොබවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව ජාතික පොලිස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිල පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තනතුරෙන් මාරු කර යවා විනය පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසමෙන්ද ලිඛිත ඉල්ලීමක් කර ඇත.
පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසන්නේ, අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව පොලිස්පතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ , තමන් ඇතුළු උසස් නිලධාරීන් සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍යට ලබාදීම, පොලිසියේ අතිශය රහසිගත අභ්‍යන්තර ලිපිගොනු බාහිර පාර්ශ්වයන් වෙත ලබාදීම යන කරුණු පදනම් කරගනිමිනි.
පොලිස්පතිවරයා සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් නිර්මාණය කරන ලදැයි කියන හඬපටයක් ද ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ. මෙම හඬපටයේ සංවාදය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු බවට පවසන පුද්ගලයෙකු සමඟ අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
පොලිස්පතිවරයා සිදුකළ පැමිණිල්ල අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවද වාර්තා වෙයි.
ඒ අනුව,පොලිස්පතිගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
හඬපටයේ දුරකථන සංවාදය සිදුකළ බව කියන කුරුණෑගල ප්‍රදේශයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.
තවද, මෙම සිද්ධියට අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන්ද ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.



