බංග්ලාදේශයේ ඊයේ (12) පැවැති තීරණාත්මක මහ මැතිවරණයෙන් තමන් බහුතර බලයක් ලබාගත් බවත්, මීළඟ රජය පිහිටුවන බවත්, බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) ප්‍රකාශ කර තිබෙනවා.
එරට ජමුනා රූපවාහිනී (Jamuna TV) සේවය තාවකාලික ප්‍රතිඵල උපුටා දක්වමින් පවසන්නේ, සමස්ත ආසන 299ක් සඳහා පැවැති ඡන්ද විමසීමේදී බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සහ එහි මිත්‍ර පක්ෂ ආසන 211ක් ජයග්‍රහණය කර ඇති බවයි.
ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදී පාර්ශවය වූ ජමාත්-ඊ-ඉස්ලාමි (Jamaat-e-Islami) සන්ධානය ආසන 70ක් ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර, වසර 17ක පිටුවහල් ජීවිතයකින් පසු බංග්ලාදේශයේ මීළඟ අගමැති ධුරය සඳහා ප්‍රධාන අපේක්ෂකයා වී සිටින තාරික් රහ්මාන්, දශක දෙකකට පමණ පසු එරට පැවැත්වෙන පළමු නිදහස් හා සාධාරණ මැතිවරණයේදී මුල් බැසගත් දූෂණය අවසන් කර රට “නව මාවතකට” යොමු කරන බවට ප්‍රතිඥා දී තිබෙනවා.
එමෙන්ම ඡන්ද විමසීම ආරම්භ වීමට පෙර විදෙස් මාධ්‍ය වෙත ඔහු පවසා ඇත්තේ, තමාගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) බලයට පත්වුවහොත්, දූෂණය සම්බන්ධයෙන් ඉහළ සිට පහළට ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් පිරිසිදු දේශපාලන යුගයක් ආරම්භ කරන බවයි.



