හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය (INTERPOL) මඟින් ‘නිල් නිවේදනයක්’ (Blue Notice) නිකුත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි.
මෙරට අධිකරණමය ක්‍රියාමාර්ග හමුවේ අවශ්‍යව සිටින පුද්ගලයින් සොයාගෙන යළි මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රයත්නයන් කඩිනම් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන තිබේ.
මාතර, එළියකන්ද පාරේ බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ පිහිටි අක්කර 1.5ක ඉඩමක් රුපියල් මිලියන 60කට මිලදී ගැනීමේ සිද්ධියකට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ගොනු කළ නඩුවකට බැසිල් රාජපක්ෂ මහතා කිහිප වරක්ම අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ක්‍රියාත්මක කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පසුගිය ජූලි මාසයේදී නියෝග කර තිබිණි. ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතව සිටින බව ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට දන්වා තිබුණ ද, අඛණ්ඩව අධිකරණය මඟහැරීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කෙරිණි.
භාවිත කරනු ලබන ජාත්‍යන්තර නීතිමය ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කරමින් අමාත්‍ය විජේපාල මහතා පෙන්වා දී ඇත්තේ, සැකකරුවෙකු විදේශගතව සිටින නිශ්චිත රටක් හෝ ලිපිනයක් පිළිබඳ තොරතුරු පවතින අවස්ථාවලදී එම පුද්ගලයා මව් රටේ නීතිමය කටයුත්තකට අවශ්‍ය බව දැනුම් දීමට ‘නිල් නිවේදනයක්’නිකුත් කරන බවයි. සැකකරු සැඟවී සිටින ස්ථානයක් පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොමැති විට ‘රතු නිවේදන’ (Red Notice) නිකුත් කෙරේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වන මෙම ‘නිල් නිවේදනය’ මඟින් බැසිල් රාජපක්ෂ මහතාගේ අනන්‍යතාව, ඔහු රැඳී සිටින ස්ථානය හෝ ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳ නිල තොරතුරු ජාත්‍යන්තර බලධාරීන් හරහා ලබාගැනීමට මෙරට විමර්ශන අංශවලට අවස්ථාව උදාවේ.
හිටපු දේශපාලන තනතුරු හෝ තරාතිරම නොබලා, මූල්‍ය වංචා හා සාපරාධී ක්‍රියාවලට සම්බන්ධ මෙරටට අවශ්‍යව සිටින පුද්ගලයන් යළි ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය පියවර නොපසුබටව ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.



