අඩු තරමින් සාමාන්‍ය පෙළ (O/L) සහතිකයවත් නොමැති තමාට අද වන විට ඇත්තේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රය වැනි මූලික ලේඛන පමණක් බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ මහනුවර පැවැති වැඩසටහනක් අමතමිනි.
“මට තියෙන සහතික ටික මම කියන්නම්. උප්පැන්න සහතිකය තියෙනවා. ජාතික හැඳුනුම්පත තියෙනවා. පාස්පෝට් එක තියෙනවා. තවත් එකක් තියෙනවා. ඒ රියදුරු බලපත්‍රය. එච්චරමයි. ඕලෙවල් සහතිකයවත් මගේ ළඟ නැහැ,” යැයි ඔහු සඳහන් කළේය.
වැඩ කිරීමට කිසි දිනක අධ්‍යාපන සහතික අවශ්‍ය නොවූ බව අවධාරණය කළ අමාත්‍යවරයා, තමන්ට තවදුරටත් ගැනීමට බලාපොරොත්තු වන්නේ මරණ සහතිකය පමණක් බව ද කියා සිටියේය.
“වැඩ කරන්න මගේ ජීවිතේට කවදාවත් අධ්‍යාපන සහතික අවශ්‍ය වුණේ නැහැ. දැන් මම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්, වාරිමාර්ග, මහවැලි ඇමැති. ඌට තියෙන්නේ උප්පැන්නේ සහතිකයයි අර කියපු සහතික ටිකයි විතරමයි. වෙන මොකුත් නෑ,” ඔහු පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ ලාල්කාන්ත මහතා, අධ්‍යාපන සහතික නොතිබුණත්, සාමාන්‍ය මනුස්සයෙකු අවුරුදු පන්සීයකින් කරන දේ තමා දැනටමත් කර අවසන් බවට ආඩම්බරයෙන් ප්‍රකාශ කළේය. එමෙන්ම, තරුණයන්ට අභියෝග කරන බවට ඔහු කළ ප්‍රකාශයද මීට සම්බන්ධ බව පැවසීය.
සහතික ප්‍රදර්ශනය සඳහා ඉගෙන නොගත යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා, රජය යනු රැකියා දෙන ආයතනයක් නොව, රැකියා නිෂ්පාදනය කිරීමේ වපසරිය නිර්මාණය කරන ආයතනයක් බවද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



