මත්තල ගුවන්තොටුපොළට වනජීවී කාර්යාලයක්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල පිහිටා තිබෙන ජෛව විවිධත්ව පරිසරය තුළ ඇතිවන සත්ව උපද්‍රව පාලනය කිරීමටත්, ගුවන්තොටුපළ සේවා‍ සහ මෙහෙයුම් සුරක්‍ෂිත කිරීමටත්, මත්තල ගුවන්තොටුපලේ වනජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම වරාය, සිවිල්, ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මත්තල ගුවන්තොටුපල පරිශ්‍රයේදී සිදු කෙරුණා.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරුණේ ගුවන්තොටුපල හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගම සහ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන අතරයි.

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්, ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ වැඩබලන සභාපති ඩබ්.ඩබ්.එස්.මංගල මහතා ද වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා ද අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට එක් වී තිබෙනවා.

පරිසර අමාත්‍යය වෛද්‍ය දම්මික පටබැඳි මහතා ප්‍රමුඛ එම අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය සහ සහයෝගීතාවය ද මෙම කාර්යාලය ස්ථාපිත කිරීමට ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා ද සහභාගී වුණා.

සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න මහතා සහ අධ්‍යක්‍ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා ද මෙම අවස්ථාව නියෝජනය කරනු ලැබූ අතර මත්තල ගුවන්තොටුපලේ මෙහෙයුම් සඳහා දායක වන රේගු, ආගමන විගමන ප්‍රධානීන් සහ ගුවන්තොටුපල කළමනාකරණයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් පවසා සිටියේ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ නියමයන්ට අදාළව මත්තල ගුවන්තොටුපල සම්බන්ධව ඇති පාරිසරික උපද්‍රව පාලනය හා කළමනාකරණය කරගැනීම නිසි පරිදි සිදු කළ යුතු නිසා මෙම කාර්යාලය ස්ථාපිත කර ක්‍රියාත්මක වීම ජාත්‍යන්තර වශයෙන් ද වැදගත් වන බවයි.

මේ වන විට මත්තල ගුවන්තොටුපලේ සම්පත් උපයෝගී කරගැනීම, ගුවන්තොටුපල අභ්‍යන්තර මෙහෙයුම්, ගොඩබිම් මෙහෙයුම් හා සංවර්ධනය කටයුතු සඳහා දේශීය හා විදේශීය ආයෝජකයින්ට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබා දී තිබෙන අතර, සංචාරක ‍ක්ෂේත්‍රයට ද දායක වෙමින්, විනිවිදභාවය තුළ ඉතා හොඳ ආයෝජන සමාගමක් තෝරාගැනීමට කටයුතු සිදු කරන අතර, කැබිනට් මණ්ඩලය විසින් එම කටයුතු කමිටුවකට පවරා තිබෙන බවද මෙහිදී සඳහන් කළා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *