“මම යුද භූමියේ ක්‍රියාන්විතවලට සම්බන්ධ වුණේ නෑ.. මට මතකත් නැහැ”

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදී ඇති බවට සිදුවීමක් සම්බන්ධයෙන් තමන්ට පැහැදිලි මතකයක් නොමැති බව හිටපු ජනාධිපති සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (29) අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන ක්‍රියාකාරීන් දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට අදාළව සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුව මාර්ගගත ක්‍රමයට සාක්ෂි ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියා.

අධිකරණයේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කරනු ලැබුවා.

කීත් නොයාර් මහතා සම්බන්ධ සිද්ධිය පිළිබඳව විමසූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ, එම සිද්ධිය සිදුවූ බව යන්තමින් මතක ඇති නමුත් එහි විස්තර මතක නොමැති බවයි.

කීත් නොයාර් මහතා අතුරුදන් වූ බව මතකදැයි විමසූ විට ඔහු අතුරුදන් වී නොමැති බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා.

කෙසේ වෙතත්, කිසියම් පිරිසක් විසින් කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දුන් බව මතකදැයි විමසූ විට ඔහු සඳහන් කළේ පහරදීමක් පිළිබඳ තමන් නොදන්නා බවත්, ඔහු අතුරුදන් වී පසුව හමුවූ බව දන්නා බවයි.

කීත් නොයාර් මහතා සම්බන්ධ සිද්ධිය පිළිබඳව තමන්ට දුරකතනයෙන් දැනුම් දුන්නේ කවුරුන්දැයි මතක නොමැති බවත්, වසර ගණනාවකට පෙර සිදුවූ සිද්ධියක් බැවින් ඒ පිළිබඳ නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු අධිකරණය හමුවේ පැවසුවා.

එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් එවකට පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාට දැනුම් දුන්නේදැයි විමසූ අවස්ථාවේදී, එවැනි සිද්ධියක් පිළිබඳව තමන්ට දැනගැනීමට ලැබුණේ නම් පොලිස්පතිවරයාට දැනුම් දෙන්නට ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා.

කීත් නොයාර් මහතා පැහැරගැනීමෙන් පසු ඔහු මුදාහැරීම තමන්ගේ උපදෙස් මත සිදුවූ බවට කළ යෝජනාව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කළා.

එහිදී ඔහු සඳහන් කළේ එම සිද්ධියට කවුරුන් සම්බන්ධ වූයේද, සිද්ධිය සිදුවූයේ කෙසේද යන්න තමන්ට මතක නොමැති බවයි.

තමන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ භූමියේ සිදුවන ක්‍රියාන්විතවලට සෘජුව සම්බන්ධ වී හෝ ඒ සඳහා උපදෙස් ලබාදී නොමැති බවද ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

තමන්ගේ කාර්යභාරය වූයේ රජය ගන්නා ප්‍රතිපත්තිමය තීරණ අදාළ ආයතන වෙත සන්නිවේදනය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම බවත්, භූමියේ සිදුවන ක්‍රියාන්විතවලට සෘජුව සම්බන්ධ වීමට හෝ උපදෙස් ලබාදීමට තමන්ට හැකියාවක් නොතිබූ බවත් ඔහු පැවසුවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 නොවැම්බර් මස අවසානයේ සිට 2015 ජනවාරි 8 වැනිදා දක්වා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ බවද අධිකරණයේදී ප්‍රකාශ කළා.

ආරක්ෂක කවුන්සිලය සම්බන්ධයෙන්ද ප්‍රශ්න කෙරුණු අතර, තමන් එහි සාමාජිකයකු වූ බවත්, ජනාධිපතිවරයා, අගමැතිවරයා, පොලිස්පතිවරයා, හමුදාපතිවරුන් සහ බුද්ධි අංශ ප්‍රධානීන් එහි සාමාජිකයන් වූ බවත් ඔහු සඳහන් කළා.

ආරක්ෂක කවුන්සිලයේදී සාමාන්‍යයෙන් සිදු වූයේ රටේ එදිනෙදා ආරක්ෂක තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම බවද ඔහු පැවසුවා.

අධිකරණයේදී ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒවා නොඇසුණු බවත්, ඇතැම් ප්‍රශ්න පැහැදිලි නොමැති බවත්, තවත් ප්‍රශ්නවලට පිළිතුරු ලෙස තමන්ට ඒවා මතක නොමැති බවත් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ පැහැරගැනීම් සහ අතුරුදන්වීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳවද ඔහුගෙන් ප්‍රශ්න කෙරුණා.

එම චෝදනා දේශපාලන වාසි ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති බවත්, ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කරන ලද අයුතු චෝදනා ලෙස තමන් සලකන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා.

මේ අතර, තමන් 2019 වසරේ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුවද අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය විසින් වාර්ෂික වාර්තා ඉදිරිපත් කර තිබූ බව පිළිගත් ගෝඨාභය රාජපක්ෂ මහතා, එම වාර්තා පිළිබඳව විමසූ අවස්ථාවේදී ඒවා පිළිබඳ වැඩිදුර තොරතුරු තමන්ට මතක නොමැති බව සඳහන් කළා.

මෙම සාක්ෂි විභාගයට අදාළව අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ වාර්තාවක් සලකුණු කරන ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ අධිකරණය, අදාළ වාර්තා මෝසමක් මගින් ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 27 වැනිදා දක්වා කල් තැබීමටද යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන දෙදෙනා 2011 දෙසැම්බර් 9 වැනිදා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අතුරුදන් වූ අතර, ඔවුන් අතුරුදන්වීම සම්බන්ධයෙන් එවකට රජයේ ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍ය හමුවකදී ඔවුන් අත්අඩංගුවේ සිටින බව ප්‍රකාශ කර තිබුණා.

පසුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් රඹුක්වැල්ල මහතා සඳහන් කර තිබුණේ එම තොරතුර ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලැබුණු බවයි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට කැඳවා තිබූ අතර, වසර ගණනාවකට පසු අද ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටිමින් මාර්ගගත ක්‍රමයට සාක්ෂි ලබා දුන්නා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *