තමාට එල්ල වී ඇති ජීවිත තර්ජන සම්බන්ධයෙන් නිසි ආරක්ෂාව ලබාදීමට පොලිසිය කටයුතු නොකරන නිසා මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමටත් ,අන්තර් පාර්ලිමේන්තු සංගමයටත්(IPU) පැමිණිලි කිරීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රෝහණ බණ්ඩාර ප්රකාශ කරනවා.
මන්ත්රීවරයා පෙන්වා දෙන්නේ තමාට ජීවිත තර්ජන ඇති බවට පොලිස්පතිවරයා මුලින් සඳහන් කළද ඒ ඉන්පසුව ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට ක්රියාකර නොමැති බවයි.
තමාට ජීවිත තර්ජන ඇති බවට බුද්ධි අංශ වාර්තා මගින් තොරතුරු ලැබී තිබෙන බවට පොලිස්පතිවරයා මුලින්ම දැනුම් දුන් බවද මන්ත්රීවරයා සඳහන් කරනවා.
පසුව ඊට නිසි ප්රතිචාර නොදක්වා තමාට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් ආරක්ෂාව ලබාදීම ගැන කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය එනතුරු සිටින බව පොලිස්පතිවරයා සඳහන් කර ඇති නමුත් කෙනෙකුගේ ආරක්ෂාව සඳහා ඉක්මන් තීරණ ගත යුතු අවස්ථාවක ඒ ආකාරයට මන්දගාමීව ක්රියා කිරීම ගැටලු සහගත බවද මන්ත්රීවරයා පෙන්වා දෙනවා.
මට එල්ල වී ඇති තර්ජනය පක්ෂ අභ්යන්තරයේ ගැටලුවක් නිසා එය පක්ෂ අභ්යන්තරයේ විසඳා ගත යුතු බවට පොලිස්පතිවරයා සමගි ජන බලවේගයේ මහලේකම්වරයාට දැනුම් දී ඇති බවත් එය අසාධාරණ දැනුම් දීමක් බවත් තමාගේ ආරක්ෂාවට නිසි ප්රතිචාර නොදක්වා තමාගේ ආරක්ෂාව හෑල්ලූවට ලක් කිරීමට පොලිස්පතිවරයා ක්රියා කර ඇති බවත් ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් පවතිනවා නම් එය දේශපාලන භේදයකින් තොරව විසඳාගැනීමට කටයුතු කිරීම රජයේ වගකීම බවද මන්ත්රීවරයා සඳහන් කරනවා.
තමාට ආරක්ෂාව ලබාදීමට නොහැකි නම් ඒ පිළිබඳව තමාට ලිඛිතව දැනුම් දෙන ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද මන්ත්රීවරයා ප්රකාශ කරනවා.
එම නිසා තමාගේ ජීවිතයට හෝ තමාගේ දරු පවුලට යම්කිසි ගැටලුවකට මුහුණ දීමට සිදුවුවහොත් ඒ පිළිබඳව වත්මන් ආණ්ඩුවත් පොලිස්පතිවරයාත් පාර්ලිමේන්තුවේ කතානායකවරයත් වගකිවයුතු බවද රෝහණ බණ්ඩාර මන්ත්රීවරයා ප්රකාශ කරනවා.
විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණයේදී කැබිතිගොල්ලෑව සහ මැදවච්චිය පළාත් පාලන ආයතනවල බලය ඒකාබද්ධ විපක්ෂයට හිමි කර ගැනීමට තමා මැදිහත් වූ අවස්ථාවේදී ජීවිත තර්ජන එල්ල වුණු බවත් එම නිසා මෙම ජීවිත තර්ජන එල්ලවීම හා තමාට ආරක්ෂාව ලබා නොදීම සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව වගකිවයුතු බවද රෝහණ බණ්ඩාර මන්ත්රීවරයා වැඩිදුරටත් ප්රකාශ කළා.



