මහනුවරට සහ නුවරඑළියට තවදුරටත් නායයාමේ රතු නිවේදන

පසුගිය දිනවලදී ලැබුණු වර්ෂාව සහ ඊසාන දිග මෝසම් සමඟ ඉදිරියේදී ලැබිය හැකි වර්ෂාවත් සැලකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කර ඇති නයයෑමේ අනතුරු නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක දෙකක් සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටකට, අදියර 3 යටතේ ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ සුමින්ද රත්නායක මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩුදුම්බර, මිණිපේ සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩාහින්න, හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙම නිවේදනය ක්‍රියාත්මක වන බව ඒ මහතා පැවසීය. 

එමෙන්ම අදියර දෙක යටතේ දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තිස්පහකට විමසිලිමත්ව සිටින ලෙස නිවේදන නිකුත් කර තිබේ.

පසුගිය දින කිහිපය තුළ ඇති වූ වර්ෂාවත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට පරීක්ෂා කිරීමට ලැබී ඇති ඉල්ලීම් ප්‍රමාණය 5,450ක් වන බවද සුමින්ද රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී ඔහු පැවසුවේ එම ඉල්ලීම් තුළ ඇතුළත් ස්ථාන සංඛ්‍යාව 10,884ක් වන අතර ඉන් ස්ථාන 1,433ක පරීක්ෂණ අවසන් කර ඇති බවය.

මධ්‍යම පළාත තුළ පරීක්ෂා කිරීමට ඉල්ලීම් කර තිබූ පාසල් ප්‍රමාණය 128ක් වන අතර ඉන් පාසල් 120ක් පරීක්ෂා කර අවසන් කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *