දූෂණ චෝදනාවලට වැරදිකරුවන් වී සිර දඬුවම් විඳිමින් සිටින හිටපු අමාත්යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්රනාන්දු යන මහත්වරුන් නියම වූ දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් ලබන මාර්තු 09 වැනිදා විභාග කිරීමට ශ්රේෂ්ඨාධිකරණය අද (20) නියෝග කළා.
මෙම පෙත්සම් අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළා.
2015 ජනාධිපතිවරණ සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් ආනයනය කිරීමේදී රජයට රුපියල් මිලියන 50 කට අධික පාඩුවක් සිදු කළ බවට මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්රනාන්දුට චෝදනා එල්ල වුණා.
මෙම චෝදනාවට වැරදිකරුවන් කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩ සහිත වසර 20 ක සිර දඬුවමක් සහ නලින් ප්රනාන්දු මහතාට බරපතළ වැඩ සහිත වසර 25 ක සිර දඬුවමක් මීට පෙර පනවා තිබුණා.
දැනට සිර දඬුවම් විඳිමින් සිටින හිටපු අමාත්යවරුන් දෙදෙනා තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙම අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා.



