“මාලිමාවට ඡන්දෙ දුන්නු ජනතාවට හෝදන්න රෙදි නෑ..”

අර්බුදයක් පැමිණි සෑම අවස්ථාවකම ජනාධිපතිතුමා සහ වත්මන් ආණ්ඩුව භාවිතා කරනු ලබන ක්‍රමවේදය වනුයේ සංදර්ශනාත්මක වචන සහ බොරුව තමන්ගේ කණ්ඩායමත් සමඟ අපූරුව භාවිතා කර ඒ අර්බුදය ජනතාව පිට පටවා ජනතාවට විසදුම් සොයාගැනීමට ඉඩහැරීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ ( 25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මෙසේ ද පැවසුවා.

“ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට සතුරා බවට පත්වී තිබෙන්නේ එතුමාගේ විපක්ෂයේ සිටි කාලයේ මන්ත්‍රි භූමිකාවයි. අද වන විට මේ රටේ ජනතාව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විපක්ෂයේ සිටි අනුර කුමාර මහතා අතර මේ පරස්පරතාවය ගලපාගන්න බැරිව ජනතාව උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිවි සිටිනවා.

මෙහිදි ජනතා විමුක්ති පෙරමුණේ 3%ට තිබුණු ජනතා කැමැත්ත 42% ක් දක්වා ඔසවා තබන්නට ජනතා විමුක්ති පෙරමුණ භාවිතා කළ ක්‍රමවේදය තමයි එවකට සිටි පාලකයින් පිළිබඳව ජනතාවගේ හදවත්වල වෛරය සහ ක්‍රෝධය මතු කිරීම. එහිදි ඔවුන් විවිධ උපක්‍රම භාවිතා කළා.

මේ සෑම දෙයක් තුළම මේ වර්තමාන අර්බුදය යුද්ධය හෝ දිට්වා සුළි කුණාටුවට බැරකරන්න වර්තමාන ආණ්ඩුව මොන ආකාරයට උත්සහ කළත් ජනතාව තේරුම් අරගෙන සිටිනවා මේ මොහෝතේ ඇතිවී තිබෙන මේ සියලූම කාරණා එයට වගකිව යුත්තේ මේ වර්තමාන ජනාධිපතිවරයා සහ මේ ආණ්ඩුව බව.

එයට හේතුව බවට පත්වී තිබෙන්නේ මේ කණ්ඩායම තුළ තිබෙන අසමත්කම, වැඩබැරිකම,උද්දච්චකම, බොරුව සහ කළමණාකරණය නැතිකමයි. මේ කාරණා සියල්ල එකතුවී තමයි මෙතරම් පීඩාවට පත්වෙන්න, ජනතාව දුක්විදින තැනට පත්කළේ.

ජනාධිපතිතුමා අර්බුදයක් පැමිණි සෑම අවස්ථාවකම ඔබතුමා සහ කැබිනට් එක පාවිච්චි කරන ක්‍රමවේදය තමයි සංදර්ශනාත්මක වචන සහ තමන්ගේ බොරුව තමන්ගේ කණ්ඩායමත් එක්ක හරි අපූරුව භාවිතා කර ඒ අර්බුදය ජනතාව පිට පටවා ජනතාවට විසදුම් සොයාගන්න ඉඩහැරීමයි.

ආණ්ඩුව එහි වගකීම, බර දන්නේ නැහැ. ගැටලු විසඳන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. ජනාධිපතිතුමනි දැන් සංදර්ශන වැඩක් නැහැ වැඩ පමණයි අවශ්‍ය. ඔබතුමා තේරුම් ගන්න ආණ්ඩු ගන්න පුළුවන් කයිය ගහලා, බොරු කියලා, හැබැයි කයිය ගහලා, බොරු කියලා ආණ්ඩු ගෙනියන්න බැහැ. ඔබලා ජනතාව ඉදිරියේ අසමත් වී තිබෙනවා.

අලුත් අවුරුද්දට පෙර ද පසුද කියලා නැහැ විදුලි අර්බුදයක් පේනමානයේ තිබෙනවා. ඒ විදුලි අර්බුදය යුද්ධය නිසා කියනවානම් එය සම්පූර්ණ අසත්‍ය කතාවක්. විදුලි අර්බුදය යුද්ධය නිසා නොවේ ගල් අඟුරු සුද්දය නිසා ඇතිවන කාරණයක්. මේ ගල් අඟුරු හොරකමේ වන්දිය මේ මොහොතෙත් ඉන්ධනවලින් ජනතාව ගෙවමින් සිටිනවා.

අපට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහ මේ කණ්ඩායම කියලා දී තිබෙනවා යුද්ධ පිටදාලා ජනතාවගේ සාක්කුව සුද්ද කරන්නේ කොහොමද කියලා. භාණ්ඩාගාරය සුද්ද කරන ගමන් පැලවත්තේ ගිණුම තර කරන්නේ කොහොමද කියලා මොවුන් අපිට පෙන්වා දී තිබෙනවා.

ඊයේ හදුන්නෙත්ති ඇමතිතුමා හොඳ කතාවක් කරනවා. සතියක රෙදි එකට හෝදන්න කියලා කියනවා. හැබැයි හදුන්නෙත්ති ඇමතිතුමනි, ඔබතුමන්ලන්ට ඡන්දය ලබාදුන් ජනතාවට රෙදි නෑ හෝඳන්න. එතුමා එදා වචනවලින් කියපු දේවල සහ අද වර්තමානයේ භාවිතය තුළ මේ තිබෙන පරස්පරතාවය ජනතාව තේරුම් අරගෙන සිටින්නේ.

ඒ වගේම චතුරංග අබේසිංහ ඇමතිතුමා කියනවා කුප්පි ලාම්පු කාලය මතක් කරගන්න කියලා. එතුමාට කියන්න තිබෙන්නේ කුප්පි ලාම්පු කාලය මතක් කරගන්නවා විතරක් නොවේ සාම්පූර් බලාගාරයට විරුද්ධ වුණේ, ත්‍රිකුණාමල තෙල් ටැංකි ටික හදන විට විරුද්ධ වුණේ, එල් එන්ජී බලාගාරය හදනවිට එයට විරුද්ධ වුණේ කවුරුද කියලා සහ පහුගිය අවුරුදු එකහාමාරේ සෝලා විදුලිය අධෛර්යමත් කළේ කවුද කියලා තාත්තගෙන් අහලා බලන්න.

ඒ නිසා ඔබතුමන්ලා කියපු දේවල් සහ කරපු දේවල්, කියන දේවල් පරස්පරයි. ඒ නිසා ජනතාව දන්නවා ඔබලා මේ රටේ මේ මොහොතේ ඇතිවෙන සියලු ගැටලුවලට වගකියන්න ඕන කියලා. ඔබලා තමයි සාම්පූර් බලාගාරය, එල්එන්ජි බලාගාරය හදද්දි විරුද්ධ වුණේ. ගල් අගුරු හොරකම විතරක් නොවේ අතීතයේ පටන් මේ රටේ පුනර්ජනනීය බලශක්තිය නිශ්පාදනය කිරීම සඳහා විවිධ ආණ්ඩු ගත්ත දේවල්වලට අකුල් හෙළලා, කකුලෙන් ඇදලා බලශක්තිය සම්පූර්ණයෙන් විනාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ කියන එක ජනතාව දන්නවා. ඒ නිසා ඔබලාට එයින් ගැලවීමක් නැහැ. ඒ සාපයෙන් මිදෙන්න බැහැ.” යනුවෙන් මෙහිදි සඳහන් කළා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *