මැදපෙරදිග රටවලින් “දැන්ම පිටවන්න..”

“බරපතල ආරක්ෂක අවදානම් හේතුවෙන්” මැදපෙරදිග පුරා පිහිටි රටවලින් “දැන්ම පිටවන්නැයි”අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට පුරවැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා.

රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කොන්සියුලර් කටයුතු පිළිබඳ නිලධාරියෙක් Xහි තබන ලද සටහනක දැක්වුණේ බහරේනය, ඊජිප්තුව, ඉරානය, ඉරාකය, ඊශ්‍රායලය, ගාසා තීරය, ජෝර්දානය, කුවේටය, ලෙබනනය, ඕමානය, කටාර් රාජ්‍යය, සෞදි අරාබිය, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය යන රටවලින් දැනට පවතින වාණිජ ප්‍රවාහන සේවා භාවිතා කරමින් වහාම පිටවන ලෙසයි.

වාණිජ මාර්ග ඔස්සේ පිටත්ව යාමට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහාය අවශ්‍ය අමෙරිකානු වැසියන්, විදේශයන්හි සිටින්නේ නම් +1-202-501-4444 අංකයටත්, අමෙරිකාවේ හෝ කැනඩාවේ සිටින්නේ නම් +1-888-407-4747 අංකයටත් පැය 24 පුරා අප ඇමතිය හැකි බවයි CNN පුවත් සේවය සඳහන් කරන්නේ.

ළඟම ඇති අමෙරිකානු තානාපති කාර්යාලයෙන් හෝ කොන්සියුලර් කාර්යාලයෙන් නවතම ආරක්ෂක තොරතුරු ලබා ගැනීමට http://step.state.gov වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න යැයි සහකාර ලේකම් මෝරා නම්දාර් (Mora Namdar) සඳහන් කර තිබෙනවා.

මෙම හදිසි පණිවුඩය නිකුත් කර ඇත්තේ, අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් මැදපෙරදිග රටවල් පුරා, විශේෂයෙන් අමෙරිකානු මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර මාලාවක් මධ්‍යයේයි.

මීට පෙර එම රටවල් බොහොමයක් අමෙරිකානු පුරවැසියන්ට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස දන්වා තිබුණා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *