ශ්‍රී ලංකාවේ උපවාස කර කිසිවෙකු මියගොස් නැති බවත්, එසේ මියගියද ඒ පිළිබඳව වගකීමක් ගැනීමට රජයට නොහැකි බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි පවසයි.
ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ නිරත වන පාසල් සංවර්ධන නිලධාරීන්ගේ අරගලය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ලංකාවේ උපවාස කර මියගියේ LTTE සංවිධානයේ සාමාජිකයෙකු පමණක් බවයි.
කෙසේ වෙතත්, වත්මන් රජයේ මෙම ස්ථාවරය පිළිබඳව උපවාසයේ නිරත නිලධාරීන් සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සිය දැඩි විරෝධය පළ කරති. විශේෂයෙන්ම මැතිවරණයට ප්‍රථම ජාතික ජනබලවේගයේ වත්මන් අමාත්‍යවරුන් විසින්ම ලබාදුන් පොරොන්දු මෙහිදී දැඩි කතාබහට ලක්ව තිබේ.
පාසල් පද්ධතිය තුළ ගුරු වෘත්තියේ නිරත වන මෙම සංවර්ධන නිලධාරීන්ව, ජාතික ජනබලවේගය ආණ්ඩුවක් පිහිටුවූ පසු ගුරු සේවයේ ස්ථීර කරන බවට එවක මැතිවරණ වේදිකාවලදී සහ සාකච්ඡාවලදී වත්මන් අමාත්‍යවරුන් සහතික වී තිබුණි.
එවැනි පොරොන්දු ඇතුළත් වීඩියෝ සාක්ෂි පවා පවතින පසුබිමක, බලයට පත්වීමෙන් පසු ආණ්ඩුව එම පොරොන්දු කඩකරමින් මානුෂීය ඉල්ලීම් හෑල්ලුවට ලක් කරන බවට වෘත්තීය සමිති චෝදනා කරයි.
තම සේවය ස්ථීර කරන ලෙස බලකරමින් සිදුකරන මෙම මාරාන්තික උපවාසය තවදුරටත් ක්‍රියාත්මක වන අතර, එළඹෙන අඟහරුවාදා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමට නියමිතව ඇතත් ආණ්ඩුවේ ඇතැම් පාර්ශවයන් සිදුකරන මෙවැනි ප්‍රකාශ හේතුවෙන් දැඩි උණුසුම්කාරී තත්වයක් නිර්මාණය වී තිබේ.



