”යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දෙමින් අභියෝග ජය ගෙන රටක් ලෙස එක්ව නැගී සිටිමු”

ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත බැතියෙන් සමරන අසිරිමත් නත්තල අදට (25) යෙදී තිබෙනවා.

උදා වූ නත්තලට ජනපති අනුර කුමාර දිසානායක සිය සුබපැතුම් පණිවිඩය නිකුත්කර තිබෙනවා.

නත්තල් සුබ පැතුම් පණිවිඩය මගින් ජනපතිතුමන් පවසන්නේ යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දෙමින් අභියෝග ජය ගෙන රටක් ලෙස එක්ව නැගී සිටිමු’යි සියලු දෙනාට ආරාධනා කරන බවයි.

ජනපතිගේ නත්තල් සුබ පැතුම් පණිවිඩය පහතින්.


”ශ්‍රී ලංකාවාසී අප මෙවර නත්තල සමරන්නේ ජාතියක් ලෙස ඉතා වේදනාකාරී ස්වභාවික ව්‍යසනයකට මුහුණදීමෙන් පසු අධිෂ්ඨානයෙන් යළි ගොඩනැඟෙමින් සිටින තීරණාත්මක අවස්ථාවක බව අපි දනිමු.

නත්තලේ සැබෑ අරුත වන්නේ, ප්‍රේමය, සාමය, සතුට, බෙදා ගැනීම සහ පරිත්‍යාගයයි. පීඩාවට පත් වූවන්ට සහෝදර හැඟීමෙන් පිහිටවීම සහ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපවීම ඒ අතර ප්‍රමුඛ වේ.
කිතුනු දහමේ මෙන්ම සියලු ආගම්වල ඉගැන්වීම වන අසල්වැසියා විපතට පත් වූ අවස්ථාවේදී අත්නොහැර සහෝදරත්වයෙන් වැලඳ ගැනීමේ උතුම් මනුසත් ගුණාංගය සහ නොසැලෙන අධිෂ්ඨානය පසුගිය ව්‍යසනය හමුවේ මෙරට ජනතාව නැවත නැවතත් පසක් කර තිබේ. කිසිදා යාමට අපේක්ෂා නොකළ මංමාවත්වල සිය සහෝදර ජනතාව වෙනුවෙන් ඇවැසි දෑ රැගෙන ඔවුන් ඇවිද ගියේ අසල්වැසියාට ප්‍රේම කරන, සාමය, සමගිය රජයන, පරිත්‍යාගයෙන් සහ සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනැඟීමට ආරාධනා කෙරෙන උතුම් නත්තලේ අරුත සැබෑ ලෙසම අර්ථ ගන්වමින් බව මම විශ්වාස කරමි. අන්ධකාරය පලවා හරින්නට ඇවැසි නම් ආලෝකයේ දීප්තිය පතුරුවාලිය යුතුය. බෙත්ලෙහෙමේ දිළිඳු ගවලෙනක ඉපදී කල්වාරි කඳු මුදුනේදී මිනිස් සමාජය පාපයෙන් මුදවා ගනු වස් කුරුසයට කැප වූ ජේසුස් වහන්සේ දැඩි අධිෂ්ඨානය, විශ්වාසය සහ ප්‍රඥාවේ මහිමයෙන් මරණය ජයගෙන උත්ථානය ලැබූ බව ක්‍රිස්තු ධර්මයේ සඳහන් වෙයි. යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දෙමින් අභියෝග ජය ගෙන රටක් ලෙස එක්ව නැගී සිටිමු’යි සියලු දෙනාට ආරාධනා කරමින් ලැබුවා වූ අසිරිමත් නත්තල සාමය, සතුට පිරුණු සහ දයාව පෙරදැරිව මනුසත් බව පැහැබර කරන්නා වූ සුබ නත්තලක් වේවා’යි ප්‍රාර්ථනා කරමි.”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *